Wednesday, June 29, 2016

පෙරවදන

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා හා සමාජීය විද්‍යා පීඨයේ භාෂා අධ්‍යයනාංශය මගින් තෙ වන වසර සිසුන් සදහා දෙ වන සමාසිකය තුළ පවත්වන ප්‍රකාශන ශිල්පක්‍රම (SNH 321)  පාඨමාලාව හදාරන සිසු සිසුවියන් විසින් මේ බ්ලොග් අඩවිය පවත්වාගෙන යනු ලැබේ. මෙහි දී ලේඛනය හා ප්‍රකාශනය පිළිබ සිසුන්ට මනා අත්දැකීමක් ලබා දීම අරමුණු කර ඇත. 

සිසුන් කණ්ඩායම් දෙකකට බෙදා එක් කණ්ඩායමක් විසින් ලියනු ලබන කරුණු අනෙක් කණ්ඩායම විසින් සංස්කරණය කිරීමත් සෝදුපත් බැලීමත් සිදු කරන ආකාරයේ ක්‍රියාවලියක් සකස් කරන ලදි. ඒ අනුව සංවිධානය කෙරුණු කණ්ඩායම් දෙකින් එකක් ආදර කන්ද ලෙස නම් කෙරුණු  අතර අනෙක සමනල වැව ලෙස නම් කෙරිණ. 

ආදරකන්ද කණ්ඩායමට සචින්තනා, මේනකා, නදීෂා, දනුෂ්ක, පියුමි, ජයමාලි යන හය දෙනාත් සමනල වැව කණ්ඩායමට හසිතා, ජානකී, හර්ෂණී, උමේෂා, හෂාන්, දිනේෂා යන හය දෙනාත් ඇතුළත් වේ.

බ්ලොග් පිටු වඩා පුළුල් සන්දර්භයක් තුළ සංවිධාන ගත කිරීමට සැළසුම් කෙරිණ. ඒ අනුව සබරගමු පළාත පිළිබදවත්, රත්නපුර දිස්ත්‍රීක්කය පිළිබදවත්, සබරගමු විශ්වවිද්‍යාලය පිළිබදවත් භාෂා හා සමාජීය විද්‍යා පීඨය පිළිබදවත් සිංහල භාෂා අංශයේ ජ්‍යේෂ්ඨ ආචාර්යවරු සිව් දෙනෙක් පිළිබදවත් මූලික වශයෙන් ම කරුණු ඇතුළත් කිරීමට සැලසුම් කෙරිණ. 

ශිෂ්‍ය කණ්ඩායමේ සියලු සාමාජිකයෙක් පිළිබදව ම වෙන වෙන ම තොරතුරු ඇතුළත් කිරීම ද එහි තවත් පියවරකි. එමෙන් ම පාඨමාලාව තුළ සාකච්ඡා කෙරෙන විෂය කරුණු පිළිබද ව ලිපි ඇතුළත් කෙරෙන අතර සිසු සිසුවියන්ගේ නිර්මාණශීලී රචනා කිසිදු සීමාවකින් තොර ව අකණ්ඩ ව මෙහි පළ කෙරෙනු ඇත. මේ විෂයට සමාන්තර ව ඉගැන්වෙන සංස්කෘතිය හා කලා ශිල්ප පාඨමාලාවේත් බහුජන මාධ්‍යයන්හි සිංහල භාෂා භාවිතය පාඨමාලාව තුළ සාකච්ඡා කෙරෙන කරුණුත්  ඉඩ ලැබෙන ආකාරයට මෙහි පළ කිරීමට අපේක්ෂා කෙරේ.

පාඨක ඔබ මෙම බ්ලොග් පිටුව කියවා අප වෙත ලබා දෙන අදහස් හා යෝජනා මේ ක්‍රියාකාරකම ඉදිරියට පවත්වා ගෙන යාම සදහා මහෝපකාරී වේ. පහත ඊ ලිපිනයෙන් අප ඇමතිය හැකි ය. snhadarakanda@gmail.com

ඔබේ අදහස් නාය නොයන ආදර කන්දක් තනන්නට මහෝපකාරී වනු ඇත.

සංස්කාරක,
ආදරකන්ද බ්ලොග් අඩවිය,
භාෂා අධ්‍යයනාංශය,
සබරගමුව විශ්වවිද්‍යාලය,
බෙලිහුල්ඔය.

No comments:

Post a Comment