Friday, June 24, 2016

සිනමාව හා කවිය ආත්මය කරගත් සංස්කෘතික චින්තකයා - හිනිඳුම සුනිල් සෙනෙවි

                     

                        ලංකාවේ නව සාහිත්‍යය කථිකාව ඇසුරේ විශ්ලේෂී විමර්ශනය නැතහොත් විචාරාත්මකව සමාජය දක්වා  සිය නුවණැස විහිදුවන නව විචාරක පිරිසක් දැකිය හැකි වෙයි. සාම්ප්‍රදායික රසාස්වාදයේ නොනැවතී මිනිසාගේ සමාජ සංස්කෘතික හා ආර්ථික අභිවෘද්ධිය සදහා සාහිත්‍යය යොදාගන්නට උත්සුක වෙයි.  අනිවාර්යයෙන් කලාව සමාජ ප්‍රගතිය උදෙසා වගකිව යුතුය යන ආස්ථානයක සිටිමින් කටයුතු කරන්නෙකි හෙතෙම.
                           ඔහුගේ  ශාස්ත්‍රාලීය ස්වාධීනතාව ප්‍රකට කරන අවස්ථාවක් ඔහුගේ "මහා සිනමාව කියවීම " කෘතියේ එයි.එහි එන එක් එක් ලිපියෙහි දී සිනමාව පිලිබඳ විචාරය සඳහා  බෙදීම් දෙකක් යටතේ කරුණු ගොනු කරයි. එකක් නම් චිත්‍රපටය දෙස  දෘෂ්ටිවාදී එළඹුමයි. දෙවනුව හෙතෙම සිනමාත්මක එළඹුමකට පැමිණෙයි. මෙකී බෙදීම තුළින්

01.   සමාජය මීට වඩා යහපත් තැනක් කළ යුතුය යන පරිණත සදාචාරාත්මක අවශ්‍යතාවයට සරිලන සාහිත්‍යය කථිකාවක් ඇරඹීම.
02.     විකල්පව ගොඩනැගුණු දෘෂ්ටිවාදී විචාරකයින් කෘතියේ කලාත්මක මානය තුට්ටුවකට මායිම් නොකර අගතිගාමී දෘෂ්ටිවාදී එළඹුමකට පැමිණිම සීමාවීම.


සාහිත්‍යයේ ද හා සමාජය‍ේ ද යහපත් බව උදෙසා ලෝකයේ හොඳම සිනමා කෘති දහය විචාරය කළ හෙතෙම ගත් මග වඩාත් කාලෝචිත මෙන්ම විශයගතය. එයින් දෘෂ්ටිවාදී මෙන් ම කලාත්මක ප්‍රවේශය ද නිසි නිසි පමණ ආරක්ෂා වේ.    
     මෑතක ලියනගේ  අමරකීර්ති විසින් ප්‍රකාශ කළේ යම් සංස්කෘතියක් විවේචනය කළ යුත්තේ එම සංස්කෘතියේ ම පුද්ගලයෙකු විසින් බවයි. උදාහරණයක් වශයෙන් මුස්ලිම් සංස්කෘතිය ප්‍රශ්න කිරීමේ අයිතිය ඇත්තේ එම සංස්කෘතිය විසින් ගොඩනගන ලද පුද්ගලයෙකුට බවයි. මේ අදහස තවදුරටත් වැඩි වර්ධනය කරන්නේ නම්  බෞද්ධ හෙජමොනියට විරුද්ධව තර්ක කරන එකී සංස්කෘතියේ විචාරකයා එම සංස්කෘතියේ නිෂ්පාදනයක් විය යුතු බවයි. එනිසා ප්‍රගතිගාමී සංස්කෘතික ජීවිතයක් සොයා අරගල කරන හිනිඳුම  ග්‍රාමීය ආධ්‍යාත්මයේ ප්‍රකාශකයෙක් ලෙස දැකීම ඔහුව නිසි නිසි පමණ හඳුනා ගැනීමකි. මෙරට උපතින් නාගරික චින්තකයාගේත් ග්‍රාමීය චින්තකයාගේත් වෙනස වන්නේ සුවිසල් ආධ්‍යාත්ම මූලයක් ග්‍රාමීය චින්තකයාට තිබීමයි. එනිසා ඔහුගේ මූලික ආධ්‍යාත්මය ගම මූලික කරගෙන ගොඩනැගෙන විශ්ව චින්තනයක් යයි කීම වරදක් නොවේ.
      ග්‍රාමීය පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව මූලික උපාධිය සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත ඇතුළත් වන හෙතෙම සිංහල භාෂාව හා සාහිත්‍යය තම මූලික ශාස්ත්‍රීය විනය ලෙස තෝරාගනී. කොළඹ යුගයේ කවිය හා එච්. එම්. කුඩලිගම පිලිබඳ සිය පළමු උපාධි නිබන්ධය සම්පූර්ණ කරන හෙතෙම විශේෂවේදී ගෞරව ප්‍රථම පන්ති සාමාර්ථයක් ලබාගනී. කැලණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය සම්පූර්ණ කරන හෙතෙම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිනමාව පිලිබඳ ආචාර්ය උපාධිය ලබාගනී. සිනමාව පිලිබඳ සිංහල භාෂාවෙන් කරන ලද පළමු ආචාර්ය උපාධිය මෙය වන අතර “ලාංකේය සිනමාවේ සුසමාදර්ශ විතැන්වීම” නමින්  සරසවි ප්‍රකාශයනයක් ලෙස මුද්‍රණය වී තිබේ.
               ඔහුගේ ශාස්ත්‍රීය භූමිකාවේ තවත් විශේෂ විෂය ප්‍රදේශයකි කාව්‍ය විචාරය. “නූතන ම සිංහල කවිය පිලිබඳ නිරීක්ෂණ කිහිපයක්”   ඒ පිලිබඳ ඔහුගේ කෘතියකි. එම සංවාදය පුවත්පත් සඟරා හා සංවාදශීලී දේශණ ඔස්සේ නොනැවතී සිදු කෙරෙයි. කාව්‍යය විචාරයට අමතරව “විරාගී මිටියාවත” ඔහුගේ කාව්‍යය සංග්‍රහය වෙයි.

              නව සමාජ කථිකාවේ   ගැඹුරු එළඹුමකි මහේෂ් හපුගොඩ හා එක්ව ලියන ලද “තාක්ෂණ ධනවාදය හා චිත්‍රපටය” කෘතිය. මැවිලා පෙනේවි රූපේ, කුංකුම තිලකය, කොළොම්තොට කොමළිය, හා  සිංහල කෙටිකතාවේ සිනමාවතරණය ඔහු අතින් සංගෘහිත කෘති වෙයි.
         දෘශ්‍ය පිටපත් රචනය පිලිබඳ ප්‍රවීණයෙකු වන හෙතෙම අයිරාංගනී සේරසිංහ ,ධර්මසේන පතිරාජ, වී.හේමපාල පෙරේරා පිලිබඳ ඔහුගේ තිර පිටපත් මගින් වාර්තා චිත්‍රපට තැනී ඇති හා තවත් නිෂ්පාදනය වෙමින් පවතින කාර්ය වේ.
   විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වශයෙන් සබරගමු විශ්වවිද්‍යාලයට හෙතෙම  ඇතුළත් වී දශක එකහමාරක් ශාස්ත්‍රාලීය අභිවෘද්ධිය උදෙසා අනලස්ව කටයුතු කරයි.  සිංහල විෂයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් උසස්වීම්  ලබා සමාජීය විද්‍යා හා භාෂා පීඨයේ භාෂා අද්‍යනාශයේ කටයුතු කරනු ලබයි.
              ජාතිවාදයට නිර්සංස්කෘතික බවට එරෙහි සිවිල් ක්‍රියාකාරිකයෙකු වශයෙන් ඔහුගේ මැදිහත්වීම ජනප්‍රිය වුවකි. එසේම සබරගමු විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති ධූරයද හෙබවූ අතර  සිනමාව කවිය පිලිබඳ ජනප්‍රිය මෙන්ම  කාර්යබහුල දේශකයෙක් ද වෙයි. ප්‍රතිපත්තිගරුකභාවය මූලික කරගත් ජීවිතයක් ගත කරන හෙතෙම පිළිවෙළ සහගත මිනිසෙක් වෙයි.
              

No comments:

Post a Comment