Saturday, August 20, 2016

පින්සලෙන් ජීවිතය මවන සොඳුරු සිත්තරාවී…… පියුමි සකුන්තලා



        




සිරිමා බෝ සමිඳුන්ගේ සිලි සිලියෙන් ලැබුණු නිහඬබවත් නිහතමානීත්වයත්  ආභරණයක් කරගත් ඇය අනුරාධපුර තඹුත්තේගම උපත ලද පියුමි සකුන්තලා නම් විය∙ හේරත්හාමිගේ චන්දදාස පියාණන්ට හා ජයලත් ආරච්චිගේ ආරියවතී නම් මෑණියන්ට සිරිමා බෝ සමිඳු ඉදිරිපිට පැතූ තවත් පැතුමක් සඵල කරමින් ඇය එම පුංචි පවුලට එක්විය∙ වැඩිමහල් සොයුරියකගේ නැගනිය වීමත් නැගනියකගේ අක්කණ්ඩිය වීමත් ඇය ලැබූ භාග්‍යක්ම විය∙
       
           අතිශය දුෂ්කරත්වයෙන් පිරුණු පෙදෙසක උපත ලැබුවද ජීවිතයට නියතයක් ලෙස එම දුෂ්කරත්වය උරුමකරදීමට ඉඩ නොදීමට  ජීවිතය උගන්වන තම ගමේ තක්ෂලාව වන අ/මහබෙල්ලන්කඩවල මහා විද්‍යාලය වෙත පැමිණෙන්නේ ඉගෙනීමෙහි මූලික අත්පොත් තැබීමටය∙ එතැන් සිට වසර 13 ක් පුරාවටම එම පාසලේම ඉගෙනුම ලැබුවේ හෙට දිනයෙ මලක් වනු පිණිස කටු පොකුරු සිප ගනිමින්ය∙
     ඇයගේ 13 වසරක පාසල් කාලය වූ කලී ඇය තුළ සැගවී පැවති දක්ෂතා ඔප්නංවා ගැනීමට හමු වූ සුවිසල් ජීවන මංතලාව විය∙ වසර ගණනාවක් පුරාවට පංතියේ නායිකාව වෙමින් ද තවත් විටකදී තම වගකීම් නිසිලෙස ඉටු කරන ශිෂ්‍ය නායිකාවක් වෙමින් ද කටයුතු කළ ඇය විටෙක කීඩා අංශයෙන් තම කුසලතා විදහා දැක්වීය∙ඇලේ දොළේ කෙළි සෙල්ලම් කිරීමෙන් පන්නරය ලැබූ ඇය පාසලේ පිහිනුම් ශූරියක් ද විය∙
ඇය පාසල තුළ සියලුදෙනා හඳුනන චරිතයක් වූයේ සිත්තරාවියක වූ නිසාවෙන්මය∙ සහජයෙන්ම හිමි වූ ඉවසීමේ ගුණය නිසාවෙන්ම ඇය නොයෙක් රටා මවමින් දෙනෙත් මවිතයට පත් කරලීමට සමත් විය∙ පාසලට විවිධ වූ කීර්තීන් අත්කරදුන් ඇය පින්සල ජීවිතය කරගෙන ජීවත් විය∙
                   


        පාසල විවිධ සමිති සමාගම්වල සාමාජිකත්වය දරමින් පාසලෙහි නම රන්දමින් 13 වසරක ඉගෙනීමෙහි ඵල ගන්වන්න 2011 වසර පැවති අො∙ උසස්  පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වීමෙනි∙ සබරගමු සරසවියට පැමිණෙන ඇය තම පාසලේ අනෙකුත් සොයුරු සොයුරියන්ට පසක් කරදුන්නේ වානේ පන්නරය ලබන්නාක් මෙන් සියලු දුෂ්කරතා විඳගෙන ජීවිතය ජයගත් අයුරුයි∙ සරසවියේ සියලු මිතුරු මිතුරියන් අතර සෙනෙහබර මිතුරියක් වූ ඇය තම ජීවිතයේ හැරවුම් ලක්ෂය තීරණය කිරීමේ සාධක ලෙස සමාජ විද්‍යාව සහ සිංහල භාෂාව යන විෂයන් තෝරා  ගත්හ∙ සමාජ විද්‍යා විෂය තුළින් පුද්ගල ජීවිතය තුළ හමුවන විවිධාකාර වූ චරිතයන් මනා ලෙස හදුනා ගැනීමටත් සිංහල විෂය තුළින් සාහිත්‍යත් සංවේදීත්වයත් ජීවිතයට හුස්ම සේ ළංකර ගැනීමත් ඇයගේ අරමුණ විය∙ එමෙන්ම සිත්තම් කලාව මියදෙන්නට නොදී එය විනෝදාංශයක් ලෙස කරන ඇයගේ සිත්තම් දෙස වරක් දෙවරක් නොව කිහිප වරක් බැලීමට සිතෙන තරමටම අලංකාරය∙
සරසවිය තුළද තම හැකියාවන් ඔප්නංවාලීමට වෙර දරන ඇය විශ්ව විද්‍යාලයීය කැරම් කණ්ඩායමේ කැපීපෙනෙන දක්ෂතාවලින් යුත් තැනැත්තියකි∙ විශ්ව විද්‍යාලයීය අන්තර් පීඨ කැරමි තරගාවලියේ දී සමාජීය විද්‍යා හා භාෂා පීඨයට ජයඅත්කරදීමට සුවිශාල මෙහෙයක් කළ ඇය සමාජය තුළ ලොක්කෙකු නොව යහපත් පුරවැසියකු වීමට සිහින දකින්නීය∙




                                                                                                           
සටහන
චලනි දිලේෂා

Thursday, August 18, 2016

නිහතමානීකම ආභරණයක් කරගත් යුවතියකගේ කතාව........



                      




  බස්නාහිර පළාතට අයත් කළුතර දිස්ත්‍රික්කයේ මනස්කාන්ත වූ සොබා සෞන්දර්යත්වයෙන් හෙබි අඟලවත්ත ප්‍රදේශයේ පැළැඳ ග්‍රාමයේ වෙසෙන ඈ, නමින් එල් . ඒ යමුනා හර්ෂණී නම් විය. එල්. ඒ විද්‍යාරත්න පියාණන්ට සහ ඩබ්ලිව් . ඒ ඉන්ද්‍රානි මෑණියන්‍, යන දෙපලට දාව ඇය 1991-07-24 දින මෙලොවට බිහි විය.
                        ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගත් ඇයගේ දෙමාපිය දෙපල ඇයව පොත පතෙහි දැනුමෙන් මෙන්ම යහපත් ගතිගුණ වලින්හෙබි රටට වැඩදායී පුරවැසියෙකු කිරීමට අනුපමේය වූ වෙහෙසක් දරමින් සිටී.  බාල සහෝදරයන් දෙදෙනෙකුගේ අක්කණ්ඩිය වන ඈ පවුලේ එකම ගැහැණු දරුවාය. දෙමාපියන්ට හොඳ දරුවෙකු මෙන්ම සහෝදරයන්ට ආදර්ශවත් සහෝදරියක වන ඇය දක්ෂතා රැසකින් පර්පූර්ණ වූ තැනැත්තියකි.
                        ඉගෙනීමට උපන් හපන්කම් ඇති ඇය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දක්වා අධ්‍යාපනය හදාරා ඇත්තේ බප/ මතුගම පැලැන්ද විදුමව් තුරුළෙනි. සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් හිමිකර ගනිමින් දස්කම් පෑ ඇය කලා අංශයෙන් උසස් පෙළ හැදෑරීම සඳහා බප/ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසලට ඇතුළු විය. එහිදී කලා අංශය යටතේ සිංහල, දේශපාලන විද්‍යාව, ඉතිහාසය යන විෂයන් ඇය විසින් හදාරා ඇත.
                  ඉගෙනීම මෙන්ම නායකත්ව ලක්ෂණ ද උපතින්ම හිමිකර ගත් ඇය පාසලේ විවිධ විෂය සංගම් වල ක්‍රියාකාරී සාමාජීකාවක් විය. පාසල් සාහිත්‍ය සංගමයේ ලේකම් වශයෙන් ඉතා දිගු කලක් නායකත්වය ඉසිලූ ඇය පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් ද තේරී පත්ව ඇත්තේ ඇය සතු වූ නායකත්ව ගුණාංග නිසාමවෙනි. එමෙන්ම පාසලේ විවිධ නිල තල හොබවමින් ඇයගේ දක්ෂතාවය ඵලදායී ලෙස සමාජගත කිරීමට ඇයට හැකි විය.
                  ඈ සමඟ දොඩමළු වූ නිමේෂයකදී ඇගේ පාසල් දිවියේ තතු විමසූ මා හට පසක් වූයේ අධ්‍යාපනය ලැබූ පාසල් ද්විත්වය පිළිබඳ ඈ තුළ පවතින්නේ දැඩි භක්ත්‍යාදරයක් බවයි.  එතෙක් මෙතෙක් ආ ගමන් මගේ කේන්ද්‍රස්ථානය එය බව ඇගේ විශ්වාසයි.
            දෙමාපිය සහ ගුරුමව්පියන්ගේ ආශිර්වාදය නොමඳව ලැබුණූ ඈ ජයග්‍රහණ මාවත විවරකර ගනිමින් අද වන විට ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ සමාජීය විද්‍යා හා භාෂා පීඨියේ තෙවන වසර දෙවන සමාසිකයේ අධ්‍යයන කටයුතු වල නියැලෙන කීර්තිමත් විද්‍යාර්ථයෙකි. සිංහල භාෂාව සහ සාහිත්‍යයේ පරතෙර සොයමින් සිංහල පිළිබඳ සිව් අවුරුදු විශේෂවේදී උපාධි පාඨීමාලාව තුල අධ්‍යයනයේ නිරත වන ඇය අතිරේක විෂය කාණ්ඩයක් ලෙසින් දේශපාලන විද්‍යව හදාරනු ලබන්නේ දේශපාලනය පිළිබඳ ඇය තුල ඇති විශේෂ වූ  ඇල්ම නිසාවෙනි.


නැටුමට, ගැයුමට, වැයුමට පමණක් නොව තෙලිතුඩින් දස්කම් පාමින් ඇගේ වටිනාකම් තීව්‍ර කරගත්
ඈ සොදුරු කලාකාරීයකි.                      
                        කෙටිකතා, නවකතා පොත් කියවීම, කෙටිකතා  ලිවීම, චිත්‍රපට නැරඹීම, ගීත ශ්‍රවණය කිරීම සිය විනෝදාස්වාදය කොටගත් ඇය ඉඩ ලද සැම විටම ගුවන් විදුලිය ශ්‍රවණය කිරීමට හුරුවී ඇත්තේඇයගේ නිවස තුලින් ලද ආභාෂය නිසාවෙනි.
                  කලාකාමී අදහස් වලින් පිරුණු සුන්දර යුවතියක් වන ඇයගේ දහසකුත් එකක් වන බලාපොරොත්තු අතර කියවීමට රුචි පාඨික සැම වෙනුවෙන් කෙටිකතා සංග්‍රහයක් එළි දැක්වීම සිහිනයක් බව ඇයගේ අදහස් වලින් හෙළි විය.  වර්තමානය වන විට එම සිහිනය දලුලමින් පවතින අතර අනාගතය වන විට එම සිහිනය තව දුරටත් සිහිනයක් නොවී යතාර්ථයක්ම වේවායි ඉක සිතින් පතන්නෙමි.


සටහන
සී පියුමි සකුන්තලා

(අාදර කන්ද)  

සිහින මංජුසාවේ සැබෑ වීමක අරුත්බර නවාතැන් පළක රසාස්වාදය මෙලෙසින් පෙළගස්වම්............



              සුන්දර බෙලිහුල් ඔය ප්‍රදේශයේ රමණීය පරිසරයක පිහිටි ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය  
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය අතර ස්වභාව සෞන්දර්යයත්වයෙන් පරිපුර්ණතම  විශ්ව විද්‍යාලයකි.
          
 

                   1995 නොවැම්බර් 05වන දින ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට එකතු වන්නේ 1991 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනුබද්ධිත  විශ්ව විද්‍යාලයක්ව පවති සමයකයි.
ඒඅනුව ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය  
-     සාමාජීය විද්‍යා හා භාෂා පීඨය
-     ව්‍යාපාර අධ්‍යයන පීඨය
යන ආරම්භක පීඨ දෙකකින් සමන්විත විය.
එහෙවූ අතීතයකට උරුමකම් කියන ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ආරම්භක පීඨදෙක අතුරෙන් සාමාජීය විද්‍යා හා භාෂා පීඨය  වන අප පීඨය සාඩම්බර අතීතයකට උරුමකම් කියයි. එලෙස මුල් බැස ගත්
සාමාජීය විද්‍යා හා භාෂා පීඨය වන අප කලා පීඨය දිවයිනේ අනෙකුත් කලා පීඨ අභිබවා ඉහළ කඩයිම් ලකුණු( Z - Score) ප්‍රමාණයක්යටතේ සිසුන් බඳවා  ගැනීම සිදුකරන අතර දැනට සිසුන් දහසකට අධික ප්‍රමාණයකින් සමන්විත වේ.  සිත මන්මත්    කරවන ස්වභාව සෞන්දර්යාත්මක පිහිටීමකට උරුමකම් කියන සාමාජීය විද්‍යා හා භාෂා පීඨයට මුහුණලා අලංකාරවත් කදු පන්තියකි.
පරෙයියන් ගල, හාවාගල ආදී වූ කඳු පන්ති පිස හමා එන නැවුම් සුළං රුල්ලෙන් පීඨයේ සිටින සියළු ජීවියෙකුගේම විඩාබර ගත සිත නිවා සනසවාලයි.
පීඨ ආරම්භයේදී සාමාජීය විද්‍යා අධ්‍යයනාංශය හා භාෂා අධ්‍යයනාංශය වශයෙන් අධ්‍යයනාංශ දෙකකින් සමන්විත වූ සාමාජීය විද්‍යා හා භාෂා  පීඨයට 2004 වර්ෂයේදී ඉංග්‍රීසි ගැන්වීමේ අධ්‍යයනාංශයත්, 2009 වර්ෂයේදී සිව්වන අධ්‍යයනාංශය ලෙස ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයත් එකතු විය.
එලෙස අධ්‍යයනාංශ හතරකින් සමන්විත මහා වෘක්ෂයක් බඳු අප පීඨයට අළුතින් එක් වූ මල් කිනිත්තක් බඳු අධ්‍යයනාංශය නම් 2015 වර්ෂයේදී ස්ථාපිත වූ භූගෝල විද්‍යා හා පාරිසරික කළමනාකරණ අධ්‍යයනාංශයයි.
       ඒ අනුව අධ්‍යනාංශ 05කින් සමන්විත වන සමාජීය විද්‍යා හා භාෂා පීඨයේ තුන් අවුරුදු වශයෙන් පැවති සියළු උපාධි පාඨමාලාවන් සිව් අවුරුදු උපාධි පාඨමාලාවන් බවට පත්විය. ඒ අනුව දැනට ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය පිරිනමයි.

 
පීඨයේ අධ්‍යයනාංශ පිළිබඳ කෙටි විස්තරයක්,
       1. සාමාජීය විද්‍යා අධ්‍යයනාංශය
                     විශ්වපීඨි ආරම්භයේදීම පැවති අධ්‍යයනාංශයක් වන සමාජීය විද්‍යා අධ්‍යයනාංශය තුලින් රැකියා වෙළඳපොළට  උචිත අන්දමේ විද්‍යාර්ථීන්  බිහිකීරීමේ අරමුණින්

-          සාමාජ විද්‍යාව
-          දේශපාලන විද්‍යාව                                           
යන විෂයන් පිළිබඳ පරිපූර්ණ වූ දැනුමක් ලබාදෙයි. එහි වත්මන් අංශාධිපති වශයෙන් Dr. ඒ. සරත් ආනන්ද මහතා කටයුතු කරයි.

       2. භාෂා  අධ්‍යයනාංශය
                     පීඨ ආරම්භයේ පැවති අනෙක් අධ්‍යයනාංශය වන භාෂා අධ්‍යයනාංශය වර්තමාන

විද්‍යාල පද්ධතිය තුල සුවිශේෂී වූ ස්ථානයක් හිමි කරගෙන ඇත.
-           සිංහල භාෂාව
-          දෙමළ භාෂාව
-          හින්දි  භාෂාව
-           ජපන් භාෂාව
-          චීන භාෂාව
-          ජර්මන් භාෂාව
යන භාෂාවන් තුලින් මේ අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන්ට මනා වූ භාෂා ඥානයක් පිරිනමනු ලබයි. Mrs ආර්. ඒ ප්‍රියංකා වීරසේකර මෙහි වර්තමාන අංශාධිපතිධුරය හොබවමින් වෘත්තියට එහා ගිය විශාල මෙහෙවරක් සමාජ විද්‍යා භාෂා පීඨයට ඉටු කරනු ලබයි.
 
              3) ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යනාංශය
                           ලාංකීය විශ්ව විද්‍යාල පද්ධතියේ සියළු කලා පීඨ අතුරෙන් අප පීඨය සුවිශේෂී වන එක් සාධකයක් ලෙස පීඨයේ සියළුම සිසුන්ට ඉංග්‍රීසි භාෂාව (CEL) ඉගැන්වීම දැක්විය හැකිය. එහි වගකීම මෙම අධ්‍යයනාංශය සතු වෙයි. ඊට අමතරව අනු විෂයක් වන දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි  ඉගැන්වීම (TESL – Teaching English as a Second Language) යන විෂය උගන්වනු ලබන්නේ ද මෙම අධ්‍යයනාංශය තුලිනි. මෙම අධ්‍යයනාංශයේත් අංශාධිපති වශයෙන් Mrs. ආර්. ඩබ්ලිව්. එම්. පී. ජී. අයි. කේ වීරකෝන් ආචාර්යතුමිය සුවිශේෂී වූ  කාර්ය භාර්යයක් සිදුකරනු ලබයි.
 
              4) ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශය
-          ආර්ථික විද්‍යාව
-          සංඛ්‍යාන විද්‍යාව
 යන විෂය ධාරාවන් උගන්වනු ලබන මෙම අධ්‍යනාංශය  තුලින් වර්තමානයේ පවතින තරඟකාරී වෙළඳපොළ ජය ගැනීමට සමත් ශක්තිමත් විද්‍යාර්ථින් පිරිසක් නිර්මාණය කිරීමේ වගකීම ඉටුකරයි. ඒ සඳහා භාර දූර කැපවීමක් වත්මන් අංශාධිපති ඒ අරුණ ශාන්ත මහතා විසින්දරනු ලබයි.
 
              05) භූගෝල විද්‍යා හා පාරිසරික කළමනාකරණ අධ්‍යනාංශය
2015 වසරේදී පස්වන අධ්‍යනාංශය වශයෙන් සමාජීය විද්‍යා හා භාෂා පීඨයට එක්වන මෙම අධ්‍යනාංශයේ වටිනාකම තවත් වැඩිකරයි.
- භූගෝල විද්‍යාව
                                               විෂය උගන්වනු ලබන මෙම  අධ්‍යනාංශය  තුලින් රැකියාව උදෙසාම පමණක් නොවන ගහට කොළට සතා සීපාවට හිත ඇති සෞන්දර්යයාත්මක මිනිසෙකු නිර්මාණය කිරීමට උත්සාහ දරයි. ඒ
සදහා මනා වු කැපවීමක් එහි වත්මන්  අංශාධිපති කේ. පී. එල් නිශාන්ත පටබැඳි මහතා විසින් සිදු කරයි.
                    වර්තමානය වන විට අප පීඨය තුලින් පිරිනමනු ලබන මෙම සියළුම උපාධි පාඨමාලාවන් සිංහල හා ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය දෙකෙන්ම ක්‍රියාත්මක  වෙයි.
එමෙන්ම සමාජීය විද්‍යා හා භාෂා පීඨ සංකීර්ණය තුල ස්ථාපිත කර ඇති.
-      පරිගණක මාධ්‍යස්ථානය
-      පීඨශ්‍රවණාගාරය
-      කලාකේන්ද්‍රය
                           යනු සාමාජීය විද්‍යා හා භාෂා පීඨය සතු දැවැන්ත උරුමයන් වේ.
                     වර්තමානය වන විට පීඨය සතු සියළු වගකීම් තම දෑතට ගෙන අමිල වූ මෙහෙවරක් සමාජී විද්‍යා හා භාෂා පීඨයේ වත්මන් පීඨාධිපති Dr. මනෝජ් ආරියරත්න මහතා විසින් සිදු කරනු ලබයි. ඔහුගේ ශක්තිය, ඔහුගේ ඥානය පීඨයේ අනාගතයට මනා පිටුවහලකි.
              මෙලෙසින් ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ නොනිමි දිදුලන පහන් තරුවක්වන් සාමාජීය විද්‍යා හා භාෂා පීඨය තව තවත් විශ්ව විද්‍යාලය අලෝකමත් කරමින් සියහසක් දරුවන් ජීවිත එකළු කරන තෝතැන්නක් ලෙසින් වැජඹෙයි. 



  සටහන

සී පියුමි සකුන්තලා

( ආදර කන්ද )