Friday, July 22, 2016

තවත් එක් ආචාර්යවරියක් නොව ගුරු මවක් ම වූ ඕ . . . .

 

            1969 ඉල්මස 12 වන දින කේ.ජී.විලියම්  සිල්වා පියාණන්ට සහ ජී.එච්.චාර්ලට් සිල්වා මාතාවට දාව පවුලේ බාලයා ව උපන් ඕ නමින් චම්පා ද සිල්වා වන්නීය. වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකුට සහ සහෝදරියන් දෙදෙනෙකුට බාල නැගණිය වූ ඕ කුඩා කල සිට ම මදක් නිහඬ චරිතයක් වූවා ය.

 

මගේ ගම රත්නපුරේ. අපේ තාත්තා රත්නපුරේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. දැන් තාත්තා නෑ.අම්මා නම් රැකියාවක් කළේ නෑ. මං තමා පවුලේ බාලයා.මට කලින් අක්කලා දෙන්නයි අයියලා දෙන්නයි ඉන්නවා. ඈ සිය ගම් පළාත ගැන හදුන්වාදෙමින් සිය අතීත මතකයන් ආවර්ජනය කළේ එසේ ය.

 

රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා තක්සලාවෙන් සිප් සතර හදාරමින් 1988 වසරේ දී උසස් පෙළ විභාගයෙන් පාසලේ ඉහළ ම ප්‍රතිඵල ලබාගත් ඕ 1991 වසරේ දී සරසවි වරම් ලද්දා ය.

කලා අංශයෙන් උසස් පෙළ හැදෑරූ ඕ විශ්වවිද්‍යාලයේදී ද සිංහල, දේශපාලන විද්‍යාව සහ සමාජ විද්‍යාව යන විෂයන් කෙරෙහි දැඩි නැඹුරුවක් දැක්වූවා ය. ඒ අතරින් ප්‍රියතම විෂය වූයේ සිංහල විෂය යි. පාසැල් අවදියේ දී මෙන් අධ්‍යනයට බර මදක් නිහඬ චරිතයක් වුවත් , නිහඬ බවින් මිදුන චින්තනයක් හෙබි ඕ කොළඹ විශ්වවිද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවක වූවා ය.

 

මම කළේ සිංහල විශේෂ උපාධිය. 1996 දි තමා අපේ උපාධි ප්‍රධානෝත්සවය තිබුණෙ. එතනදි මට දක්ෂතම ශිෂ්‍යයාට හිමි මහාචාර්ය එම්.බී. ආරියපාල සම්මානය ලැබූණා. ඒ තමා කොළඹ විශ්වවිද්‍යාලයේ දක්ෂතම සිංහල උපාධිදාරියාට ලැබෙන සම්මානය.”

 

ඈ සිය මුල් ම පත්වීම ලබන්නේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිංහල විෂය තාවකාලික කථිකාචාර්යවරියක් වශයෙනි. 1997 වසරේදී ය. ඉන් සය වසරකට පසු ඕ ආධුනික කථිකාචාර්යවරියක් වශයෙනුත් සිය පශ්චාත් උපාධිය සමත්වෙමින් දෙවන පන්තියෙ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙසට උසස් වීම් ලද ඕ මේ වන විට සාහිත්‍ය ශූරී (PHD) උපාධිය සඳහා සූදානම් වෙමින් සිටින්නී ය.

 

සරසවි අඹරේ සුපහන් පහන් තරුවක් වූ ඕ සරසවි සිසු සිසුවියනට බෙහෙවින් ලයාන්විත ආචාර්යවරියක් වූවා ය. ඇදුරුතුමියක පමණක් නොවී සිසු සිසුවියනට දෙ වැනි මවක් වෙමින් මානව ගුණ දම් ඔප නංවමින් සාහිත්‍ය නම් විශ්ව සාගරයේ කිමිදෙන්නට මංපෙත් සදා දෙන්නී ය. එතෙකින් නිමා නොවූ ඇගේ සාහිත්‍ය දැනුම් දායාදය මුලු මහත් පාඨක සමාජයට ම ලබාදීමට ඕ උත්සුක වූවා ය.

නූතන නවකතාව කෙරෙහි ඈ තුළ දැඩි ප්‍රියතාවක් තිබේ.  එබැවින් ඇගේ ලේඛණ කටයුතු බොහොමයක් නූතන නව කතාව පිළිබඳ තතු හෙළි කරයි.  “අනුව දශකයේ සිංහල නවකතාවනමින් ශාස්ත්‍රිය ග්‍රන්ථයක් පළ කළ ඕ ‘සබරගමුව ශාස්ත්‍රිය සඟරාවආදී වූ සඟරා, පුවත්පත් ආදියෙහි බෙහෝ ශාස්ත්‍රීය ලේඛන පළ කර ඇත.

 

සාහිත්‍යට ප්‍රේම කරන්නී ඕ වරක ප්‍රකාශ කර සිටියේ ‘සාහිත්‍ය මිනිසා මනුෂ්‍යයෙක් කරයියනුවෙනි.

 

“මම සිංහල තෝරාගත්තෙ මම ඒ විෂයයට හරි කැමති නිසා.  මගේ රැකියාව උනත් රැකියාවකට, මුදලකට සීමා වෙලා කරන දෙයක් නෙවෙයි.  මං ආසාවෙන් ඒ දෙය කරනවා මිසක් මට ලැබෙන මුදලින් පලක් නෑ.  අද බොහෝ විට මුදල මත පදනම් වන අධ්‍යාපන අරමුණක් තියෙන්නෙ.  ඒත් මම දකින විදිහට තමංගේ දක්ෂතාව, කැමැත්ත, වින්දනය මත රැකියාව වුනත් පදනම් විය යුතුයි.

සාහිත්‍ය මිනිසා සමබර කරනවා. මානව ගුණ ධර්ම නැති ව විෂයය කර්ම කරලා වැඩක් නෑ ඇත්තටම. අනෙක් විෂයන්ගෙන් නොලබෙන ඒ ගුණ ධර්ම සාහිත්‍යයෙන් දෙන්න  පුලුවන්.”

 

18 වසරක සේවා කාලයක් තුළ ඇය විශ්වවිද්‍යාල මානව මානවිකාවනට පෙවු සිප් කිර,ආචාර්යවරියක වශයෙන් සිය සේවය වෙනුවෙන් කළ කැපකිරිම ඉතා අගනේ ය. සිංහල සාහිත්‍ය ගංඟාවට තවත් පැන් පොදක් වෙමින්, වනිතාවක වශයෙන් කළ කැප කිරීම උදෙසා ඇය පිදීමට සුදුසු සම්මානයක් මෙලොව තිබේ ද ? යන්න සෙවීම කළ මනා ය.

 

ආදර කන්ද

ප්‍රභානී සචින්තනා මන්ත්‍රීරත්න

No comments:

Post a Comment