Friday, July 22, 2016

දිවි මග මුදු සුවඳ රැනදු - විකසිත පියුමක රුව ගුණ



සුහද සිනහවක මිහිරියාව කෙතරම් ද? එය නැවුම් පියුමක සුන්දරත්වය විහිදුවනු ඇත. එවන් සිනහවක හිමිකාරියක් වන ඇය නමින් නදීෂා පියුමාලි වන්නී ය. 1993 ජනවාරි පළමු වන දා කේ.කරුණාවතී සහ එම්. බී. ප්‍රේමතිලක යන දෙමාපියන්ට දාව පවුලේ බඩ පිස්සිය වී උපන්නා ය.  ආදරණීය සහෝදරියන් දෙ දෙනෙකුගේ සුරතල් නැගණිය විය. බෙන්තොට, වතුරවෙල ඇය හැදී වැඩුණු ආදරණීය ගම් පියසයි. 

පළමු වසරේ සිට උසස්පෙළ දක්වා ම තම පාසල් අධ්‍යාපනය ලද ඇගේ විදු පියස වන්නේ ගාල්ල මිරිස්වත්ත මහා විද්‍යාලය යි. පාසල් අවදියේ දී දක්ෂ ශිෂ්‍යාවක් වුවා සේ ම පාසලේ අමතර ක්‍රියාකාරකම් සඳහා නොමද දායකත්වය ලබා දෙන්නියක ද වුවා ය. ක්‍රීඩා කටයුතු ගීත ගායනය ආදිය මෙන් ම තම නායකත්ව ලක්ෂණ විහිදුවමින් පාසලේ ජ්‍යෙෂ්ට ශිෂ්‍ය නායිකාවක් ලෙස ද කටයුතු කළා ය. ගෘහවිද්‍යා විෂය තරඟ, රචනා තරඟ ආදී කලාප මට්ටමින් පවත්වනු ලබන විෂයානුබද්ධ තරඟ සඳහා ඉදිරිපත් වෙමින් පියුමාලි සිසුවිය තම දක්ෂතා පාසල තුළ විදහා දැක්වී ය.

සෞන්දර්ය විෂයන් අතරින් ගීත ගායනයට, නර්තනයට දක්ෂ ඇය පාසලේ සෞන්දර්ය විෂය ලෙස චිත්‍ර විෂය හැදෑරී ය. පාසල් මට්ටමින් පැවති චිත්‍ර තරඟ සඳහා ඉදිරිපත් වෙමින් ජය ලද ඇය නිහඬ සිත්තරාවියක ද වන වග කිව යුතුම ය. 

2011 වර්ෂයේ දී කලා අංශයෙන් අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටී ඇය සරසවි වරම් ලබගත්තා ය. ඒ අනුව ඇය 2013 වර්ෂයේ දී ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයට ඇතුලත් විය. විශ්වවිද්‍යාලයේ දී සමාජ විද්‍යාව විෂය ප්‍රධාන විෂය ලෙසත් සිංහල විෂය අනු විෂය ලෙසත් හදාරනු ලබයි. පාසලේ දී මෙන් ම තම නිසඟ කලා හැකියාවන් විශ්වවිද්‍යාල වේදිකාව මත ද විදහා දක්වමින් විශ්වවිද්‍යාලයේ කලා කටයුතුවල දී ගායිකාවක ලෙස ද නර්තන ශිල්පිනියක් ලෙස ද කැපී පෙනෙන්නට විය. 
 
ඉදිරියටත් තම කාලය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කැප කිරීමට බලාපොරොත්තු වන ඇය, සමාජ විද්‍යා විෂය හදාරන ශිෂ්‍යාවක් නිසා ම සමාජයෙහි පවතින ගැටළු, සංකීර්ණතා අධ්‍යයනය කිරීමටත් ඒ ඔස්සේ සමාජයට තමන්ගෙන් ඉටුවිය යුතු මෙහෙවර ඉටු කිරීමටත් මහත් උනන්දුවෙන් පසුවන්නී  ය.    
  
සටහන - එල්.ඒ.වයි.හර්ෂණී
            

No comments:

Post a Comment