ආචාර්ය නිව්ටන් ගුණසිංහ:
සංඝයාගේ සංකේතමය භූමිකාව
17 April 2015
ප්‍රචණ්ඩ හා ව්‍යසනකාරී සමාජ-දේශපාලන වා සුළි විසින්
ගිළගත් '80 දශකය ඇතැම් විට
ලංකාවේ අවසාන විචාරශීලී දශකය වන්නට ද පුළුවන. ආචාර්ය නිව්ටන්
ගුණසිංහ ඒ විචාරශීලීත්වය අර්ථවත් කළ දුලබ බුද්ධි ජීවීන් සුළුතරයෙහි ප්‍රමුඛයෙක් සේ
ගැනෙයි. 1946 අප්‍රේල් 05 වැනිදා ඉපිද
හතළිස් දෙවසකින් දිවි හැරගිය ආචාර්ය ගුණසිංහ විසින් කළ දීප්තිමත් න්‍යායික
සම්ප්‍රදානයන් ලාංකීය සන්දර්භය තුළ මාක්ස්වාදී මානව විද්‍යා සම්ප්‍රදායයක්
රෝපණයෙහි ලා අත්‍යවශ්‍ය පුරෝගාමී වැඩකොටස ඉටු කරන ලදී.
සිංහල සංස්කෘතිය, ජාතිකවාදය සහ
ජනවාර්ගික සබඳතා ගැන ද, ලාංකීය කුල සහ පන්ති විභේදනයන් අභ්‍යන්තරයෙහි
පවත්නා ව්‍යුහාත්මක සැකැස්ම ගැන ද, ගැමි නිෂ්පාදන සබඳතාවන්ගේ
විපරිවර්තනය පිළිබඳව ද ඔහු විසින් කරන ලද විවරණයන් ඒ සම්බන්ධයෙන් මේ
දක්වා සම්පාදනය කොට ඇති විශිෂ්ටතම ලේඛන සේ සැළකේ. ඔහුගේ මැදිහත්වීමෙන්
මැද පළාතේ උඩුනුවර මෙන්ම නුවර කලාවිය සහ යාපන අර්ධ ද්වීපයේ ගොවි ගම්මාන
ආශ්‍රිතව සිදුකරන ලද ක්‍ෂේත්‍ර
පර්යේෂණයන්, ගම්බද කෘෂි නිෂ්පාදන රටාවන් ආශ්‍රිතව සිදුවන ව්‍යුහාත්මක
පරිවර්තනයන්ගේ ස්වභාවය මාක්ස්වාදී ප්‍රවේශයකින් විශ්ලේෂණය කිරීමට ගත්
පුරෝගාමී ප්‍රයත්නය බව අවිවාදිත ය.
න්‍යාය සහ භාවිතය අතර ඒකාබද්ධතාවයේ අවශ්‍යතාව සිය පැවැත්මෙන්
මූර්තිමත් කළ අාචාර්ය ගුණසිංහ, දේශපාලනිකව සක්‍රීයව
ගෙවා දමන ලද සරසවි සමයකින් පසුව වුවද, වාම දේශපාලන ප්‍රවණතා
හා ඓන්ද්‍රීයව සම්බන්ධව ක්‍රියා කරමින්
මහනුවර ගොවි කම්කරු ආයතනය හා ලංකා පොදු සේවා සංගමය හරහාත්, ජාතීන් අතර
යුක්තිය හා සමානාත්මතාවය සඳහා ව්‍යාපාරය හා මානව හිමිකම් ක්‍රියාකාරකම්
ඔස්සේත් මෙම ඒකාබද්ධතාව ජීවමාන කළේය.
ආචාර්ය ගුණසිංහ පිළිබඳ ස්මරණය කරමින් මහාචාර්ය ජයදේව උයන්ගොඩ 1988 දී මෙසේ ලීවේය: "මෙරටේ දෘඪතර මාක්ස්වාදී ශාස්ත්‍රවන්තභාවී සම්ප්‍රදායට පුරෝගාමී වූවෝ ආචාර්ය නිව්ටන් ගුණසිංහයෝ ය. යුරෝපීය සමාජ විද්‍යාව සහ මානව විද්‍යා මහා සම්ප්‍රදාය සමග මාක්ස්වාදය නිර්මාණාත්මක ලෙසත්, ඵලදායී ලෙසත් ශ්‍රී ලංකාව තුළ සංස්ලේෂණය කළ බුද්ධිමය පරම්පරාවේ ප්‍රථම සහ හොඳම නියෝජිතයා වන්නේ ද ඔහු ය".
1986 ඔක්තෝබර් 01 වැනිදා Lanka Guardian සඟරාවෙහි මුල් වරට පළ වූ මෙම ලිපිය, කොළඹ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය මගින් 2011 වසරේදී එළිදැක් වූ 'නිව්ටන් ගුණසිංහ තෝරාගත් ලිපි' කෘතිය සඳහා පළමු වරට සිංහල බසට නගනු ලැබුණි. බෞද්ධ සංඝයාගේ වෙනස්වන සමාජ භූමිකාව පිළිබඳ '80 දශකය මැද භාගයේදී ඔහු විසින් කරන ලද නිරීක්‍ෂණයන් තිස් වසකට පසු එළඹ පවතින ලාංකීය දේශපාලන යථාර්ථයන්ගේ සංකීර්ණතා ග්‍රහණය කරගනු පිණිස වුව වැදගත් ආලෝකයක් සපයයි.
ආචාර්ය ගුණසිංහ ස්මරණය කරනු පිණිස මෙම ලිපිය නැවත පළකිරීමේ අවසරය JDS වෙත ලබාදුන් සමාජ විද්‍යාඥයන්ගේ සංගමයට ස්තුතියි.
ආචාර්ය ගුණසිංහ පිළිබඳ ස්මරණය කරමින් මහාචාර්ය ජයදේව උයන්ගොඩ 1988 දී මෙසේ ලීවේය: "මෙරටේ දෘඪතර මාක්ස්වාදී ශාස්ත්‍රවන්තභාවී සම්ප්‍රදායට පුරෝගාමී වූවෝ ආචාර්ය නිව්ටන් ගුණසිංහයෝ ය. යුරෝපීය සමාජ විද්‍යාව සහ මානව විද්‍යා මහා සම්ප්‍රදාය සමග මාක්ස්වාදය නිර්මාණාත්මක ලෙසත්, ඵලදායී ලෙසත් ශ්‍රී ලංකාව තුළ සංස්ලේෂණය කළ බුද්ධිමය පරම්පරාවේ ප්‍රථම සහ හොඳම නියෝජිතයා වන්නේ ද ඔහු ය".
1986 ඔක්තෝබර් 01 වැනිදා Lanka Guardian සඟරාවෙහි මුල් වරට පළ වූ මෙම ලිපිය, කොළඹ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය මගින් 2011 වසරේදී එළිදැක් වූ 'නිව්ටන් ගුණසිංහ තෝරාගත් ලිපි' කෘතිය සඳහා පළමු වරට සිංහල බසට නගනු ලැබුණි. බෞද්ධ සංඝයාගේ වෙනස්වන සමාජ භූමිකාව පිළිබඳ '80 දශකය මැද භාගයේදී ඔහු විසින් කරන ලද නිරීක්‍ෂණයන් තිස් වසකට පසු එළඹ පවතින ලාංකීය දේශපාලන යථාර්ථයන්ගේ සංකීර්ණතා ග්‍රහණය කරගනු පිණිස වුව වැදගත් ආලෝකයක් සපයයි.
ආචාර්ය ගුණසිංහ ස්මරණය කරනු පිණිස මෙම ලිපිය නැවත පළකිරීමේ අවසරය JDS වෙත ලබාදුන් සමාජ විද්‍යාඥයන්ගේ සංගමයට ස්තුතියි.
පරිවර්තනය: රංජිත් පෙරේරා
නිර්පාංතික බලවේගවල සහ සමාජ කණ්ඩායම්වල හැසිරීම
ඇගැයුම් කොට සටහන් තැබීම දේශපාලන විශ්ලේෂණය නම් කාර්යයට මුහුණ දෙන්නට සිදු වී තිබෙන
සංකීර්ණතම අවස්ථාවලින් එකක් වශයෙන් හඳුන්වා දිය හැකිය. ඒ වාගේම පංති අරගලය
සිදුවන අතරතුරේදී, මේ බලවේග හා
කණ්ඩායම් ස්වකීය මතවාද හොඳින් ගලපා ප්‍රකාශ කරන විට, දේශපාලන භූමියට ඒවා කරන මැදිහත්වීම සැළකිය යුතු ප්‍රමාණයකින්
සිදුවන විට, මේ කාර්යය තව තවත්
සංකීර්ණ වෙයි. මේ සන්දර්භය ආශ්‍රයෙහි සළකන කල, ශ්‍රී ලංකාවේ බෞද්ධ සංඝ පරම්පරාව යම් මතවාදීමය ගැලපුමක්
සහිත 'නිර්පාංතික
යැයි පෙනී යන' සමාජ බලවේගයක් ලෙස
දැකිය හැකිය. 'නිර්පාංතික
යැයි පෙනී යන' යෙදුම අප භාවිතා කරන්නේ ඇයි? තමන් වූ කලී තනි පංතියක් නියෝජනය නොකරන, එහෙත් 'සදාචාරමය ප්‍රජාවක්, එනම් සිංහල බුද්ධාගමේ සදාචාරමය ප්‍රජාව' බව භික්‍ෂූන් කියා ගන්නා නිසා ය. භික්‍ෂූන්
සජාතීය කණ්ඩායමක්
ලෙසත්, මෝක්‍ෂ මාර්ගයට
යොමු වූ පාරිශුද්ධ
කණ්ඩායමක් ලෙසත්, ආගමික සත්‍යයේ මුර දේවතාවුන් ලෙසත් සැළකීමට මේ 'සදාචාරමය ප්‍රජාව' ගිහියන්ට මතවාදීමය වශයෙන් බල කර සිටී.
නමුත් ඇත්ත තත්ත්‍වය නම් භික්‍ෂු සමාජය වූ කලී
ධර්මය පිළිබඳ මතභේද නිසා නොව, කුලවලට අනුව
නිකායන්ට ද, ධූරාවලි මට්ටම්
අනුව නිකාය තුළ ද
බෙදී ගිය විෂම ජාතීය ප්‍රපංචයකි. ඉදින්, අපට මුණ ගැසෙන්නේ තිරස් අතට වාගේම සිරස් අතට බෙදී ගිය, මතවාදී ඒකාග්‍රතාවයක් කොහෙත්ම නොපෙන්වන, එහෙත් කෙසේ හෝ කැඩී බිඳී යාම අභිබවා ක්‍රියාත්මක
වීමේ හැකියාව තිබෙන, අභ්‍යන්තරික
වශයෙන් බෙදී ගිය සමාජ කණ්ඩායමකි.
නිර්පාංතික යැයි පෙනී යන භික්ෂු සමාජයේ ලක්‍ෂණ එබඳු ය.
සංඝ සමාජයට අයත් අති බහුතරය කුලය / නිකාය වශයෙන් බෙදී ගොස් තිබුන ද පොදුවේ ගත් කල ඔවුන්
කොයි කවුරුත් පාහේ ගැමි සමාජයේ
පහළ මැද ස්තරවලින් පැමිණෙන උදවියයි. නමුත් මීට පටහැණි වන එකම සුවිශේෂ
අවස්ථාව හැටියට තිබුණේ මහනුවර පළාතේ ඉඩ කඩම් හිමි පුරාණ රජ මහා විහාරවල
නේවාසිකව ඉන්නා නායක භික්‍ෂූන් සම්බන්ධයෙන් පමණි. මේ භික්‍ෂූන් බොහෝ දෙනා
සාම්ප්‍රදායික වශයෙන් මහනුවර සමාජයේ ඉඩම් හිමි රදළ පැලැන්තියෙන් පැවත එන අයයි.
උදාහරණයක් වශයෙන්, උඩුනුවර
ලංකාතිලක විහාරයේ නායක භික්‍ෂු පදවිය පරම්පරා ගණනාවක් තිස්සේ මාතුලවාසික වශයෙන් පවරන ලද
එකක් බව, එනම් නායක භික්‍ෂුවගේ සොහොයුරාගෙන් පසුව බෑනාට පැවරෙන එකක් බව, පෙන්වා දෙන්නට මානව විද්‍යාඥයෙකු
වන හන්ස් - ඩීටර් එවර්ස්ට හැකි විය. කෙසේවතුදු ගත වූ දශක දෙක තුළ මේ මට්ටමේ සමාජ සංයුතිය පවා
පැහැදිලි වෙනස්කම්වලට භාජනය වී තිබෙන බැවින් නායක පදවි රදළකමින් අඩු ස්තරවලට ද අයත්වන්නට
පටන්ගෙන තිබේ. මීට ප්‍රධාන හේතුව
වරප්‍රසාද ලත් රදළ සමාජ පසුබිම්වලින් පැමිණෙන තරුණ පිරිමින් වැඩි වැඩියෙන්
ලෞකික ලෝකයේ ඉණි මං දිගේ ඉහළට පියවර තබන්නට පටන්ගෙන තිබෙන නිසා ය. එබැවින් මේ වනවිට සංඝයා වැඩි
වශයෙන් සම්පාදනය වන්නට පටන්ගෙන තිබෙන්නේ මැද ගොවි හෙවත් ගැමි සිංහල සමාජයේ සුළු ගොවි
ස්තරවලින් ය. ඉඩම් නැති ග්‍රාමීය
ස්තරවලින් සංඝයා බිහිවන්නේ කලාතුරකිනි.
ජාතිය බේරා ගැනීම
සම්භාව්‍ය ඉන්දීය බුද්ධාගමට අනුව, සංඝයා වූ කලී ඉතා දැඩි ආකාරයකින්
විමුක්තිදායක මාර්ගයක් අනුගමනය කරන ප්‍රජාවකි. 'බුද්ධාගම යනු භික්‍ෂු චර්යාවේ නියැලෙන ශ්‍රමණයන්ගේ
විමුක්ති මතවාදය'යි යන වෙබර්ගේ සුප්‍රසිද්ධ නිර්වචනය
තුළ මේ අර්ථය හොඳින් ගැබ් වී තිබෙන බව පෙනේ. නමුත් සමකාලීන 'සිංහල බුද්ධාගමේ' තත්ත්‍වය නම් මීට හාත්පසින්ම
වෙනස් ය. සමාජ - දේශපාලන ක්‍ෂේත්‍රයේ රඟ නොපාන කුඩා වනවාසී භික්‍ෂු ප්‍රජාව
හැරුණු කොට විහාරස්ථානවල වසන බෞද්ධ බහුතරය ස්වකීය මෝක්‍ෂ මාර්ගය අතහැර දමා ඇත්තේ මීට බොහෝ කලකට
පෙරාතුව ය. මේ භික්‍ෂූන්ගෙන් බහුතරය සිවුරු පොරවාගෙන ඇත්තේ සිය කැමැත්තෙන් නොවේ - නව යෞවනයට
එළඹෙන්නටත් පෙරාතුව තම දෙමාපියන්
විසින් කරන ලද බලපෑම නිසා ය. මේ සාමණේර භික්‍ෂූන් බොහෝ දෙනා වයස අවුරුදු
හයේ සිට දොළහ දක්වා වයස් කාණ්ඩවලට අයත් උදවියයි. ගැමි සමාජයේ සුළු ඉඩම් හිමි
පොදුජන පසුබිමකින් පැමිණෙන, මුදල්
අමාරුකම්වලට නිරතුරුවම මුහුණ දෙන, මේ දරුවන්ට සාමණේර භික්‍ෂූවක් වීම යනු සමාජ සංචලතාවය
අත්පත් කරගැනීමකි -
උසස් අධ්‍යාපනය ලබා ඩිප්ලෝමා හා උපාධි ලබා ගැනීමේ ප්‍රස්ථාවයකි. මේ සාමණේර භික්‍ෂූහු
කොහේ සිටියත් ස්වකීය ජ්‍යෙෂ්ඨ ගුරු භික්‍ෂූන් සමගත් පවුලේ උදවිය සමගත් නොකඩවා සම්බන්ධකම්
පවත්වන්නාහ. කෙසේ වෙතත්, කිසියම් ප්‍රමාණයකින් අධ්‍යාපන
සුදුසුකම් ලැබූ පසු මේ සාමණේර භික්‍ෂූන් බොහෝ දෙනා මහණකම අතහැර නැවත ගිහිගෙට පැමිණෙති.
මේ ගැන ජ්‍යෙෂ්ඨ භික්‍ෂුහු
හොඳින් දනිති. එබැවින්, ඔවුන් කරන්නේ
අධික ලෙස සිවුර හැරයෑම නිසා සිදුවන භික්‍ෂුන්ගේ සංඛ්‍යාව අඩුවීම වළක්වනු පිණිස වැඩි
වැඩියෙන් තරුණ පිරිමින් මහණ
කිරීමයි.
දැනට මතුවෙමින් පවතින සටන්කාමී සිංහල බුද්ධාගම තුළ
සංඝයා රඟ දක්වන්නේ අතිශයින් සකේතමය භූමිකාවකි. සම්භාව්‍ය බුද්ධාගමෙහි දකින්නට ලැබුණේ විමුක්ති
මාර්ග ගවේෂණය උදෙසා කැපවෙමින් ගිහි සමාජය අතහැර දැමූ සංඝයා ය. නමුත් වර්තමාන සංඝ බහුතරය එසේ
නොවේ. ඔවුහු සිංහල වර්ගවාදය
මහෞෂධය කොටගත් සිංහල ජාතිකවාදී මතධාරීන් පිරිසක් සහ ඒ මතවාදය ව්‍යක්ත
අයුරින් පතුරුවන පිරිසක් බවට පත්ව සිටිති. සංඝයා සැළකෙන්නේ 'ජාතියේ මුර දේවතාවුන්' හැටියට ය. ඉදින්, සිංහල ජාතිය අනතුරකට මුහුණදෙන
අවස්ථාවලදී ජාතිය
බේරාගැනීම සඳහා සංඝයා ඉදිරියට පැමිණෙන අන්දම ගැන නොයෙකුත් මිත්‍ථ්‍යා කතා ජනමාධ්‍ය ඔස්සේ
දිනපතාම විසුරුවා හරිනු ලැබේ. ඇත්තෙන්ම, සංඝයාගේ වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව අතරේ තිබෙන
පිළිගැනීමට වඩා ජනමාධ්‍ය යොදාගනිමින් දියත් කරන පම්පෝරිය හේතුවෙන් අනවශ්‍ය
වැදගත්කමක් සංඝයාට ලැබී තිබෙන බව පැහැදිලි ය.
ජනමාධ්‍ය භික්‍ෂූන්
දේශපාලන වශයෙන් සංඝයා රඟපාන භූමිකාව මොනතරම් කාර්ය සාධක
ද? ඔවුන් දේශනා කරන දේවල් ජනතාව අද
පිළිගන්නවාද? විශේෂයෙන්ම සෑම ප්‍රවර්ගයකටම අයත්
බලාධිකාර ව්‍යුහ පිරිහීමට පත්වෙමින් තිබෙන වකවානුවක සාම්ප්‍රදායික බලාධිකාර ව්‍යුහයේම මූලික
අංගයක් වන සංඝ සමාජය ඒ
හැටියෙන්ම ජනතාව අද පිළිගන්නවාද?
වර්ෂ 1956 දේශපාලන පරිවර්තනය ඇතිවන අවස්ථාවේදී
සංඝයා විසින් රඟපාන ලද වැදගත් භූමිකාව ගැන දේශපාලන විද්‍යාවේදීන් ගණනාවක්ම අවධානය යොමුකොට
තිබේ. වර්ෂ 1956දී භික්‍ෂූන් විසින් ඉටු කරන ලද දේශපාලන
භූමිකාව අඩුවෙන් තක්සේරු කළ නොහැකි මුත් සංඝයා වූ කලී සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන විශාල සමාජ බලවේගයක හුදු එක් අංගයක්
පමණකි යන කාරණය නොතකා හරින්නටද බැරි ය. සඟ, වෙද, ගුරු යන කොටස් මූලික වශයෙන්
සමන්විත වූයේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින ඉඩම් හිමි ස්තරයට සහ පොදුවේ වාර්ගික
අවශ්‍යතාවලට විරුද්ධව සිටින ග්‍රාමීය සුළු ධනේශ්වරයෙනි. අද වන විට මේ සමාජ
බලවේග විඛණ්ඩනය වී තිබෙන නිසා 1956 දී ඉටු කරන ලද වැඩ කොටස වැන්නක් ඉටු
කරන්නට ඊට තව දුරටත් පුළුවන්කමක් නැත. වැඩිදුරටත් කියනවා නම්, කලින්ද පෙන්වා දුන් පරිදි, අද තරුණ භික්‍ෂූන් මතුවන්නට නියම වී තිබෙන්නේ ග්‍රාමීය
සුළු ධනේශ්වරයට වඩා පහළින් තිබෙන ස්තරවලින් ය. මේ සමාජ හුදෙකලාව හේතුවෙන් ගැමි සමාජය
මත්තේ භික්‍ෂූත්වයට තිබෙන බලපෑම 1956 දී තිබුණු තරමට වඩා අද බෙහෙවින් අඩු ය. නමුත් ජනමාධ්‍ය
විසින් හසුරුවන මහජන දේශපාලනය තුළ දී නම් භික්‍ෂූන්ගේ ප්‍රතිරූපය ඇත්ත වශයෙන්ම තිබෙනවාට
වඩා දැවැන්ත ය. ඉදින්, මෙහිදී අපිට මුණ ගැසෙන්නේ තමා වටා
වාඩි වී එකත්පස්ව තමන්ට සවන් දෙන උපාසක උපාසිකාවන්ට ඉවසීමෙන් යුතුව තේමාවකට අනුව බණ කියන
හාමුදුරුවරුන් නොව, රූපවාහිනියේ
පෙනී සිටිමින් ජනතාව අමතන හෝ පුවත්පත් හරහා නිවේදන නිකුත් කරන හෝ ධූරාධිපති
භික්‍ෂූන් සහ වෙනත් බලගතු භික්‍ෂූන් ය. ඇත්තෙන්ම රැල්ල ආරම්භ කරන්නේත්, නිර්මාණය කරන්නේත් භික්‍ෂූන් නොවේ.
ජනමාධ්‍ය හසුරුවන යම් යම් බලලෝභී කණ්ඩායම් ජනතාව තුළ රජකරන සාමූහික අනාරක්‍ෂාව
පිළිබඳ හැඟීම් ප්‍රයෝජනයට
ගනිමින්, ඔවුන් අතර
කළකිරීමක් ඇති කිරීමේ ආධ්‍යාශයෙන් ඉතාමත් ක්‍ෂුද්‍ර වූ මතයකට වුවද පණ දුන් විට, ඒ මතයට පක්‍ෂව කැපී පෙනෙන අයුරින් භික්‍ෂූන්
සහයෝගය දක්වන විට, ඒ රැල්ල
නිර්මාණය කොට එය හසුරුවන්නේ භික්‍ෂූන් බව පෙනී යයි. නමුත්, ඇත්ත වශයෙන්ම, ඒ රැල්ල නිර්මාණය කරන්නේ හෝ හසුරුවන්නේ හෝ භික්‍ෂූන්
නොවේ.
ගත වූ දශක කීපය තුළ සීඝ්‍රයෙන් දියත් වූ වාණිජ ක්‍රියාදාමය
නිසා සාම්ප්‍රදායික සිංහල සමාජය තදබල වෙනස්කම්වලට භාජනය වී ඇත. කෙසේ වෙතත් සාම්ප්‍රදායික
බලාධිකාර ධූරාවලියේ සාමාජිකයෙකු වන භික්‍ෂුවගේ සමාජ තත්ත්‍වය මේ වෙනස්කම් සමග පහළ වැටෙන්නට
පටන් ගත්තේය. නමුත් ජනවාර්ගික
ගැටුම නිසා මේ පහළ වැටීම ආපිට හැර වී තිබේ. 'ජාතිය අනතුරේය, ජාතියේ මුර දේවතාවුන් එය රැකගැනීම සඳහා පෙරට ආ යුතුය,' යනුවෙන් සිදුවන මතවාදී කතිකාව
විසින් භික්‍ෂූත්වය නැවත වරක් බලපෑම් කළ හැකි තත්ත්‍වයකට පමුණුවා ඇත.
No comments:
Post a Comment