පෙරපාසලේ
පුංචිම දරුවාගේ සිට සරසවියේ තාරුණ්‍යයේ සිටින දරුවා දක්වා අවබෝධයෙන් ගුරුහරුකම්
දිය හැකි ඇය සැබෑ ම ඇදුරුතුමියක් ව මේ මොහොතේ ද අනාගත පරපුරට අගනා මැණික් ඔපමට්ටම්
කරමින් සිටී.
දකින කිනම්
මොහොතක වුව ඇයට ම ආවේනික මුව පුරා පිරි ප්‍රිය මනාප අව්‍යාජ සිනහවක් රඳන්නි ඇය
නමින් ප්‍රියංකා වීරසේකර වේ. 1970
නොවැම්බර් මස 11 වැනි දින; ඇය වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකුට ආදරණිය නැගණිය වී
උපන්නා ය.
1981 දුරුතු
මස 30වෙනි දින ලාංකේය ළමා ගී සාහිත්‍යයට නවමු අරුණැල්ලක පහස දැනිණ. ඒ එදින ශ්‍රී
ලංකාවේ ප්‍රථම ළමා ඒකපුද්ගල ගායන ප්‍රසංගය “අරුණළු” ලෙසින් දොරට වැඩිණ. ප්‍රවීණ සංගීත අධ්‍යක්‍ෂක රෝහණ වීරසිංහයන්ගේ
සංගීත අධ්‍යක්‍ෂණයෙන් සත්සර මැවූ එහි
පුංචි කෝකිලාවිය ඇය විය.
වයස අවුරුදු
පහක පුංචි දැරියකව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා වැඩසටහන්වල ගී ගැයූ
ඇයව බොහෝ ලංකිකයන් අදටත් හඳුනන්නේ ළමා ගයන ශිල්පිනියක් ලෙසිනි. ගුවන්විදුලි
සංස්ථාවේ “හඳ මාම”, “මල් කියන්නේ කාට කාට”
වැනි ළමා වැඩසටහන්වලට ද අනතුරුව ජාතික රුපවාහිනියේ ළමා වැඩසටහන්වලට ද දායක වීමට
ඇයට අවස්ථාව ලැබිණ.
ළමා ගායිකාවකව
සිටිය දී දෙමාපිය අනුදැනුම මත ඇය ගායනය පිළිබඳව ශාස්ත්‍රීය අධ්‍යාපනයට යොමු වේ. ඒ
අනුව වික්ටර් පෙරේරා යටතේ සංගීතය හදෑරීම ආරම්භ
කරයි. උත්තර භාරතීය රාගධාරී
සංගීතය උගෙන එවකට විශාරධ උපාධිය ලද
ළාබාල ම ශිල්පිනිය වන්නේ ද ඇය යි.
පාසලේ ක්‍රියාශීලී
සිසුවියකව සිටී ඇය නර්තනය, ගායනය, වාදනය, ආදී සෞන්දර්ය කටයුතු මෙන් ම ක්‍රීඩාවට ද ද ඇලුම් කළ තැනැත්තියකි. ඇය පාසලේ දී විෂයක් ලෙස නර්තනය හැදැරී ය. ඊට අමතරව ජාතික නර්තන තරඟ විභාගයේ අවසාන
මට්ටම දක්වා ම සම්පූර්ණ කළ ඇය නර්තනය
පිළිබඳ ඇති සහජ දක්ෂතා පිළිබිඹු කරමින් උඩරට නර්තන ශිල්පිනියක් ලෙස කළ එළි බසී.කලා
අංශයෙන් උසස්පෙළ හදාරා කැළණි විශ්වවිද්‍යාලයට පිවිසෙන ඇය ප්‍රථම වසර ඉහළ සාමාර්ථ ලැබීමත්
සමග ශිෂ්‍යත්වයක් ලබා භාරතය බලා පිටත් වේ.එහි දී ඇය හින්දි භාෂාව හා සාහිත්‍ය පිළිබඳව ප්‍රයෝගික අධ්‍යයනයක
නියැලිණි. ප්‍රධාන විෂය ලෙසින් සිංහල විෂය හදාරා ප්‍රථම පන්ති සාමාර්ථයක් සමගින්
ඉහළ දක්‍ෂතා දක්වා රන්පදක්කමට ද හිමිකම් කීය. උත්තර භාරතීය ජන නාටක පිළිබඳ අධ්‍යයනය
කරමින් ඇය තම උපාධි නිබන්දනය “උත්තර
භාරතීය ජන නාටක” නමින් කෘතියක් ලෙස ප්‍රකාශයට පත්කරයි.
කලා විෂයන්ට
මහත් ඇළුම්කම් දැක්වූ ඇය සංස්කෘතික අමාත්‍යංශයේ ලියාපදිංචි ආයතනයක් ලෙසින්
“අරුණලු” කලායතනය ආරම්භ කළේ ය. මෙ මගින් ගුරු වෘත්තිය උදෙසා අවශ්‍ය පදනම ඇය විසින්
ම සකසා ගන්නේ ස්වකීය දැනුම තවත් පරපුරකට ඉගැන්වීමට තිබූ කැමැත්ත නිසාම ය.
උපාධිය නිමවා
කලාවට ම හිත ගිය ඇය රූපවහිනී නිවේදිකාවක් ව ප්‍රේක්‍ෂකයා අතරට පැමිණේ. ජාතික
රුපවාහිනියේ “ශනිදා ආයුබෝවන්” සහ ළමා වැඩසටහන් රාශියක නිවේ දිකාවක් ලෙස තම දක්ෂතා
විදහා දැක්වී ය.
1999 දී
සබරගමු විශ්වවිද්‍යාලයේ තාවකාලික කථිකාචාර්යවරියක් ලෙස සේවයට එක් වේ. විශ්වවිද්‍යාලයේ
හින්දි භාෂාව ඉගැන්වීම ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළ ඇය 2000 වර්ෂයේදී
කථිකාචාර්යවරියක් ලෙස ස්ථිර වන්නේ සිංහල විෂය ඉගැන්වීම උදෙසා ය.
කථිකාචාර්යවරියක්ව
සිටිය ද තම නිසඟ කලා හැකියාවන් නිසා ම සබරගමු සරසවියේ බොහෝ කලා කටයුතු උදෙසා තම දායකත්වය
නොමදව ලබා දේ. “යුග සරණිය” වැනි වැඩසටහන්
ඊට නිදසුන් සපය යි.
ඇය 2004
වර්ෂයේදී ශාස්ත්‍රපති උපාධිය සඳහා ශිෂ්‍යත්වයක් ලබා උතුරු ඉන්දියාවේ
ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයට ඇතුලත් වේ.
2014 වර්ෂයේ
දී සබරගමු විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය
උපාධිය ලබා ගන්න ඇය ආදිවාසී භාෂා පිළිබඳ වාග් විද්‍යාත්මක කියවීමක නිරත වේ. ඒ පිළිබඳ
මේ වන විට පර්යේෂණ පත්‍රිකා බොහෝමයක් ඉදිරිපත් කර ඇති අතර නුදුරේ දී ම ඒවා ග්‍රන්ථයක්
ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද බලාපොරොත්තුවෙන් සිටී.
සෞන්දර්යාත්මක
මෘදු විෂයන් හා ගණුදෙනු කළ ඇය පරිපාලන කටයුතු උදෙසා ද හැකියාව ඇති තැනැත්තියකි . ඒ
අනුව ඇය 2014 වර්ෂයේ ඔක්තෝබර් මස ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යනාංශ
ප්‍රධානි තනතුරට පත් වේ. එත් සමග බොහෝ කාර්යබහුල ඇය ඉගැන්වීම් කටයුතු , පරිපාලන
කටයුතු, කලායතනයේ කටයුතු, සහ බොහෝ සේවාවන් ඉටුකරමින් සිටී.
ටවර්හෝල්
පදනමේ රංගන ශිල්පියෙකු වූ තම සීයාත්, තමන්ට ගීත රචනා කළ තම ආදරණිය මවත්, නාවික
හමුදා තුර්ය වාදක කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන තම වැඩිමහල් සහෝදරයත්, පමණක්
නොව ගායනයේ සහ වාදනයේ හැකියාව උපතින් රැගෙන ආ තම ආදරණිය පුතුත් නිසා කලාවේ සජීවී
සහෘද සාමාජිකාවක් වන ඇයගේ ගීත එකතුවක් ද නුදුරු දිනක දී ගීත ලොවට එකතු වනු ඇත. ලාංකේය
බොහෝ දරු පරපුරකට දයාබර ගුරු මෑණියක් වන
ඇය සුභාවිත ගීතයට ඇළුම් කරන රසික පිරිසට ගයන ශිල්පිනියක් ලෙස ද වඩාත් සමීප වනු
ඇත.
“අධ්‍යනාංශ ප්‍රධානි කියන තනතුරට වඩා ගායන
ශිල්පිනි කියන ආදරණිය හැඳින්වීමට මම වැඩියෙන් කැමතියි.”
ඇයගේ මුවින්
පිටවුණු මෙ වදන් නුදුරේ දී ම අයගේ සුගායනීය හඬ අසන්නට ලැබෙන බවට ඉඟියකි.
ඇය සමග කළ
සුහද හමුවේදී ඇය ජිවිතයේ මෙතෙක් ආ ගමන ගැන මෙසේ වචන එකතු කළේ පුරුදු සිනාව ද කැටි
කොට ගනිමිණි .
“කෙනෙකුට
කියන්න අමාරුයි තමන් සාර්ථකයි කියල නමුත් මට එහෙම කියන්න පුළුවන්. මම හැම මොහොතක ම
සතුටින්. දුෂ්කරතා තිබුණා. අදටත් තියෙනවා. නමුත් මේ වෙනකොට මං තෘප්තිමත් ජීවිතයක්
ගත කරනවා.”
කලාකාමී
සොඳුරු හිතැත්තී එළඹෙන හැම මොහොතකම ද තවත් බොහෝ දරු පිරිසකට දයාබර ගුරුමෑණියක ව ද
බොහෝ රසික පිරිසකට මිහිරි හඬ මවන්නියක ව ද සතුට ම වගා කරනු ඇත.
සටහන - එල්.ඒ.වයි.හර්ෂණී
No comments:
Post a Comment