Tuesday, July 12, 2016

වමේ විලංගුව සහ ජාතික චින්තනයේ සෙක්කු ගමන -ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි




වමේ විලංගුව සහ ජාතික චින්තනයේ සෙක්කු ගමන
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
ඉතිහාස අංශය
කොළඹ විශ්වවිද්‍යාලය

නිව්ටන් ගුණසිංහ සහ 80 දශකයේ මැද වාමාංශික කතිකාව යන මැයෙන් පැවැත්වු දේශනය ඇසුරිණි. නිව්ටන් ගුණසිංහ විසින් යෝජිත විචාරාත්මක කතිකාව තුළින් බැලීමේදී 1985 මැද වන විට රැඩිකල් වාමාංශය ඉදිරියේ මූලික වශයෙන්ම බුද්ධිමය වශයෙන් නිරාකරණය කරගත යුතුව තිබූ දේශපාලන අභියෝග දෙකක් තිබුණි. එකක් නම් ලංකා සමසමාජ පක්ෂයත් සමඟ ඇරැඹි වාමාංශික ව්‍යාපාරයේ දේශපාලන අවසානය පිළිබඳ ගැටලුවයි. මෙය තීරණාත්මක සිදුවීම් දෙකක් මඟින් සලකුණු විය.
පළමුවැන්න 1977 දී වාමාංශික දේශපාලන පක්ෂ ලැබූ තීරණාත්මක මැතිවරණ පරාජයයි. දෙවැන්න මෙම වාමාංශික පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති විසින් සංවිධානය කරනු ලැබූ 1980 මහා වැඩ වර්ජනය පරාජයට පත්වීමයි. ඇත්ත වශයෙන්ම පැරැණි වාමාංශයේ බිඳවැටීමේ ආරම්භය සලකුණු වූයේ 1953 හර්තාලය සමඟ බව මගේ අදහසයි. ඒ සිදුවීම පැරැණි වාමාංශයේ දේශපාලන සීමාව සලකුණු කළේය. ඉන් පසුව අපිට දැකිය හැක්කේ වාමාංශික පක්ෂ දේශපාලන ක්‍රමය තුළ ඉෂ්ට කරනු ලබන කාර්යභාරය ක්‍රමානුකූල ලෙස වියැකී යාමයි. කෙසේ වෙතත් මේ කරුණ වෙනම සාකච්ඡා කළ යුත්තකි.
දෙවැනි අභියෝගය වූයේ පැරැණි වාමාංශයේ දේශපාලන වියැකීයාමට සමාන්තරව මතු වූ නව වාමාංශයේ ප්‍රමුඛ සහ වඩාත් බලපෑම් සහගත ප්‍රකාශනය වන ජනතා විමුක්ති පෙරමුණ සිංහල බෞද්ධ ජාතිකවාදය සමඟ සම්මුතිගත වීමයි. මේ සම්මුතිගත වීමට 1983 ජුලි සිදුවීම් වලින් පසු මතුවන නව දේශපාලන සන්දර්භය තුළ විශේෂ වැදගත්කමක් ලැබේ. නිව්ටන් ගුණසිංහ අබියස තිබූ ප්‍රමුඛ බුද්ධිමය අභියෝගය වූයේ‍ මෙම නව තත්ත්වය සංකල්පගත කරන්නේ කෙසේද සහ මේ නව තත්වය තුළ රැඩිකල් දේශපාලන විකල්පයක් පිළිබඳ කතිකාව ස්ථානගත කරන්නේ කෙසේද යන්නයි.
නිව්ටන් ගුණසිංහ විසින් අත්තෝනියෝ ග්‍රාම්ෂ්චි සහ ලුයී අල්තුසර් භාවිත කරනු ලබන්නේ මේ නව තත්ත්වය තේරුම් කිරීම සඳහාය. මා මෙම දේශනයේ ඉතිරි කොටසින් උත්සාහ කරන්නේ නිව්ටන් ගුණසිංහ විසින් තම ප්‍රමුඛ බුද්ධිමය දේශපාලන අභියෝගය ලෙස සැලකූ පශ්චාත් 83 ජුලි අවධිය පිළිබඳ අවලෝකනයක් කිරීමටයි. 1983 ජුලි යනු ලංකාවේ පශ්චාත් යටත්විජිත ඉතිහාසයේ තීරණාත්මක සංධිස්ථානයකි. එය එසේ වන්නේ සාමාන්‍යයෙන් 83 ජුලි පිළිබඳ විශේෂයෙන්ම දෙමළ ජනයා ගැන සහවේදනාවෙන් කතා කරන ලිබරල් හා වාමාංශික කොටස්වල දෘෂ්ටිපථ ලක්ෂණයේ සිට බැලීමෙන් පමණක්ම නොවේ.
සාමාන්‍යයෙන් 83 ජුලි අමතක කර දැමිය යුතු හෝ ‍වඩාත් නිවැරැදිව කියන්නේ නම් නොසිදුවීමක් ලෙස සැලකීමට කැමති සිංහල බෞද්ධ ජාතිකවාදයේ දෘෂ්ටිපථ ලක්ෂණයේ සිට සලකා බැලුවත් මෙය වැදගත් කඩඉමකි. අපගේ සාකච්ඡාවේ පහසුව සඳහා පශ්චාත් 83 දේශපාලනය කතිකාවන් දෙකක් අතර ගැටුමක් මඟින් නිර්ණය වූ කතිකාමය අඩවියක් ලෙස හඳුනාගනිමු. එම කතිකාවන් දෙක වන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදය සහ සිංහල බෞද්ධ ජාතිකවාදයට විරුද්ධ කතිකාමය කඳවුරයි.
සාමාන්‍යයෙන් පිළිගැනීම වන්නේ පශ්චාත් 83 තත්වය අභියෝගාත්මක එකක් වූයේ සිංහල බෞද්ධ ජාතිකවාදයට විරුද්ධ කතිකාමය කඳවුරට බවයි. නමුත් මගේ අදහස වන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදී කඳවුරක් මෙම තත්වය අභියෝගාත්මක එකක් වූ බවයි. සිංහල බෞද්ධ ජාතිකවාදයට විරුද්ධ කතිකාමය කඳවුර සම්බන්ධව ගත් කල පශ්චාත් 83 තත්වය අභියෝගාත්මක වූයේ මන්ද යන්න අතිශයින් පැහැදිලිය. එම අභියෝගය නම් පශ්චාත් යටත්විජිත ලංකාවේ තීරණාත්මක දේශපාලන ජන කොට්ඨාසය වන සිංහල බෞද්ධ දකුණේ අධිපති දෘෂ්ටිවාදය තුළ සුජාතභාවයක් ලැබීමට මෙම සිංහල බෞද්ධ ජාතිකවාදයේ කේන්ද්‍රීය අභිලාෂවලට අනුගත වීම අනිවාර්යතාවයක් වීමයි.
එසේ අනුගත නොවන සෑම දේශපාලන කණ්ඩායමක්ම සිංහල බෞද්ධ දකුණේ දේශපාලන භූමියෙන් අතුගෑවී යාමේ ඉරණමට මූණ පා සිටියේය. ඇත්ත වශයෙන්ම එහි මාක්ස්වාදී අක්තපත්‍රය නිසා ප්‍රකාශිත වශයෙන් ජාතිකවාදය වැළඳ ගැනීමට නොහැකි වූ ජනතා විමුක්ති පෙරමුණට ද දේශපාලන භූමිය තුළ රැඳී සිටීමට සිංහල බෞද්ධ ජාතිකවාදය සමඟ අසීරු සන්ධානයකට එළඹීමට සිදු වී තිබුණේ එබැවිනි. කෙසේ වෙතත් අප මෙහිදී වඩාත් තියුණු ලෙස සලකා බැලිය යුත්තේ සිංහල බෞද්ධ ජාතිකවාදි කඳවුරට මෙම පශ්චාත් 83 තත්වය අභියෝගාත්මක එකක් වුයේ මන්ද යන්නයි.
1983 ජුලි සිදුවීම් එක්තරා අතකින් සිංහල බෞද්ධ ජාතිකවාදයේම ප්‍රතිඵලයක් වූ අතරම අනෙක් අතට සිංහල බෞද්ධ ජාතිකවාදයට අභියෝගයක්ද විය. සිංහල බෞද්ධ ජාතිකවාදී මනඃඍෂ්ටිය මුහුණ දුන් සහ තවමත් මුහුණ දෙන තීරණාත්මක අභියෝගයක් වන්නේ එහි ප්‍රධාන සංඝඨකය(ක්) වන සම්භාව්‍ය බෞද්ධ චින්තනයේ අඩංගු විශ්වීය මෙන්ම අවිහිංසාවාදී ප්‍රවේශය සහ ‍සිංහල බෞද්ධ ජාතිකවාදය වර්තමාන‍ේය මුහුණදෙන දේශපාලන අභියෝග අතර සංහිඳියාවක් ඇතිකරගන්නේ කෙසේද යන්නයි.
මෙම ව්‍යායාමය බෙහෙවින්ම උභතෝකෝටිකමය එකක් වන්නේ වර්තමාන සිංහල බෞද්ධ ජාතිකවාදි දේශපාලන අභිලාෂ ඉෂ්ට කරගැනීමේ පැත්තෙන් ගත් කළ කිසියම් ප්‍රචණ්ඩකාරී හැසිරීමක් ඉල්ලා සිටින බැවිණි. 1983 ජුලි සිදුවීම් සහ ඉන් පසුව තීව්ර වූ දෙමළ සන්නද්ධ සටන්කාමීන් සහ සිංහල බෞද්ධ ජනයාගේ දේශපාලන හා දෘෂ්ටිවාදී සහයෝගය මත මූලික වශයෙන්ම පදනම් වූ රාජ්‍යය අතර ඝට්ටනය විසින් මෙම ගැටලුව ප්‍රමුඛ එකක් බවට පත්විය. විශේෂයෙන් මේ ගැටලුව මුල්කරගෙන සිංහල බෞද්ධ ජාතිකවාදයේ විවේචකයින් සිංහල බෞද්ධ ජාතිකවාදයට විරුද්ධය අති ප්‍රබල බුද්ධිමය සහ දේශපාලන ප්‍රහාරයක් දියත් කර තිබුණි.
මා දකින ආකාරයට මෙම සිංහල බෞද්ධ ජාතිකවාද විරෝධී ප්‍රති කතිකාවේ තිබු මූලික ආචාරධාර්මික සීමාවක් වුයේ සිංහල බෞද්ධ ජාතිකවාදී මනස වෙත සහවේදනාවකින් යුක්තව බැලීමට තිබු නොහැකියාවයි. මා මෙහිදී විශේෂයෙන් අවධානයට ලක් කරන්නේ 83 ජුලි සිදුවීම් මඟින් සිංහල බෞද්ධ ජාතිකවාදි කතිකාව සසල කිරීම සිදු කෙරුණේ කවර ආකාරයෙන්දයන්න පිළිබඳවයි. එක් අතකින් සිංහල බෞද්ධ ජාතිකවාදය මඟින් මූලික වශයෙන් උත්සාහ දරනු ලැබුවේ මේ සිදුවීම සහ සිංහල බෞද්ධ ජාතිකවාදය අතර සම්බන්ධයක් නොමැති බව අවධාරණය කිරීමටයි. කෙසේ වෙතත් මෙම උත්සාහය මුළුමනින්ම සාර්ථක එකක් වුයේ නැත.
විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජාතිකවාදයට විරුද්ධ කතිකාව තුළින් සිංහල බෞද්ධ ජාතිකවාදයේ සදාචාරාත්මක අක්තපත්‍රය තදින් ප්‍රශ්න කරනු ලැබූ තත්වයක් තුල ජාතිකවාදී කතිකාව කිසියම් සෙලවීමකට ලක්වී තිබුණු බව පෙනේ. මේ සෙලවීම හොඳින් පෙන්වන සංසිද්ධියක් අපට මේ දිනවල නිරීක්ෂණය කළ හැක. එනම් මේ දිනවල සිනමා ශාලාවල ප්‍රදර්ශනය වන 'මහරජ ගැමුණු' චිත්‍රපටය සහ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා විසින්ම චිත්‍රපටයේ තිරනාටකය පදනම් කරගෙන රචනා කරන ලද නවකතාව හරහාය.
මෙම කෘතිය එක්තරා ආකාරයකින් 1983 ජුලි සිදුවීම්වලට පසුව ගණනාත් ඔබේසේකර විසින් සිංහල බෞද්ධ හෘද සාක්ෂ්‍යය අරභයා මතුකරනු ලැබූ සුප්‍රකට පැනයට පිළිතුරක් ලෙස සැලකිය හැක. (Obeyesekera 1988) මෙම කෘතිද්වය මගින් මූලික වශයෙන් උත්සාහ කරන්නේ ප්‍රමුඛතම සිංහල බෞද්ධ ඓතිහාසික පුරාවෘත්තමය වීරවරයා වන 'දුටගැමුණු' වර්තමාන සිංහල බෞද්ධ මනංසෘෂ්ටියට ගැපෙන ලෙස පුනරුත්ථාපනය කොට ඉදිරිපත් කිරීමයි.
මෙම කෘතිද්වය තුළ අපට හමුවන දුටුගැමුණු සහ එළාර මහාවංශය තුළ අපට හමුවන දුටුගැමුණු සහ එළාරට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ වේ. මහාවංශය තුළ අපට හමුවෙන්නේ යුධ ජයග්‍රහණයෙන් පසු වරදකාරී හැඟීම නිසා පශ්චාත්තාපයට පත්වී සිටින දුටුගැමුණු කෙනෙකි. නමුත් ජයන්ත චන්ද්‍රසිරිගේ කෘතියේ එන දුටුගැමුණු තුළ එවැනි වරදකාරීත්වයක් දක්නට ලැබෙන්නේ නැත. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස වරදකාරීත්වය දක්නට ලැබන්නේ එළාර තුළයි. තමන් ලංකාව ආක්‍රමණය කිරීම මගින් වරදක් කර ඇති බවත් සිංහලයා යහපත නියෝජනය කරන බවත් දුටුගැමුණු එම යහපත් බවේ ප්‍රතිමූර්තිය බවත් එළාර හොඳින් දනී.
එළාර ද යහපත් ගතිවලින් යුත් මනුෂ්‍යයෙක් වුව ද බලකාමියෙකි. නමුත් දුටුගැමුණු එවැන්නෙක් නොවේ. ඔහු එළාරට වඩා සදාචාරාත්මක වශයෙන් උත්තරීතර වන අතර එළාර ද එය හොඳින්ම දනී. මගේ යෝජනාව වන්නේ මෙම ප්‍රතිනිර්මාණිත දුටුගැමුණු සහ එළාර වර්තමාන සිංහල බෞද්ධ මනංඍෂටියට ගැළපෙන පරිදි කරන ලද ගොඩනැංවීමක් බවයි. මෙම ගොඩනැංවීම 1983 ජුලි වලින් පසු සිංහල බෞද්ධ ජාතිකවාදයට එල්ල වූ ප්‍රහාර වලට එරෙහිව මතු වූ ප්‍රති කතිකාවේ මස්තකප්‍රාප්තිය ලෙස හැඳින්විය හැකිය.
මෙම ප්‍රතිකතිකාව බිහිවූ­‍ෙය් 1983 ජුලි වලට පසුව සිංහල බෞද්ධ ජාතිකවාදයට එල්ල වූ බුද්ධිමය ප්‍රහාරයට විරුද්ධය ප්‍රති ප්‍රහාර එල්ල කළ බුද්ධිමය කතිකාව තුළින් විශේෂයෙන්ම නලින් ද සිල්වාසහ එල්ලාවල මේධානන්ද හිමි යන අයගේ බුද්ධිමය මැදිහත්වීම් තුළ දැකිය හැකිය (ද සිල්වා, 2010, මේධානන්ද 2006) පශ්චාත් 83 ජුලි අවධියේදී සිංහල බෞද්ධ ජාතිකවාදයේ පැහැදිලි පුනර්ජීවනයක් ඇති විය. එය සිංහල බෞද්ධ ජාතිකවාදයේ දෙවන රැල්ල ලෙස හැඳින්වීමට පුළුවන. 19 වන ශතවර්ෂයේ මැද දී ඇති වූ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය මුහුකුරා යාමෙන් සහ දේශපාලනීකරණය වීමෙන් සිංහල බෞද්ධ ජාතිකවාදයේ පළමු රැල්ල නිර්මාණය විය. එහි දේශපාලන කූටප්‍රාප්තිය සිදුවූෆය් 1956 මජන එක්සත් පෙරමුණේ මැතිවරණ ජයග්‍රහණය තුළිනි. ‍
කෙසේ වෙතත් මෙම ජයග්‍රහණයේ පැවැති සුවිශේෂත්වය වන්නේ ඉක්මනින්ම අලුතින් නිර්මාණය වූ දේශපාලන තන්ත්‍රය මෙහෙයවනු ලැබූ ප්‍රභූ කණ්ඩායමේ න්‍යාය පත්‍රය සහ සිංහල බෞද්ධ ජාතිකවාදය විසින් පරිකල්පනය කරන ලද දේශපාලන මනංඍෂ්ටිය අතර ආතතියක් ඇතිවීමයි. 56ට දේශපාලන නායකත්වය දුන් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ගේ ලිබරල් මනස විසින් ලංකාවේ බහුවාර්ගික දේශපාලන යථාර්ථය කෙරේ සාධනීය ලෙස යොමුවීමට දරන ලද උත්සාහය සහ සිංහල බෞද්ධ ජාතිකවාදී මනංඍෂ්ටියේ සෘජු ප්‍රකාශකයින් වූ බෞද්ධ භික්ෂූන් අතර ඒ ප්‍රවණතාවයට එරෙහිව මතු වූ විරෝධය මගින් මේ ආතතිය සංයුක්ත ලෙස ප්‍රකාශයට පත් විය.
පශ්චාත් 56 අවධිය තුළ අපට දැකිය හැක්කේ සිංහල බෞද්ධ ජාතිකවාදි මනංඍෂ්ටිය සහ ආණ්ඩුකරණප්‍රභූ තන්ත්‍රයේ ඉහළම ස්ථරය අතර විටින් විට විවිධ ආකාරවලින් වර්ධනය වූ මෙම ආතතියයි. මෙම ආතතිය තීරණාත්මක කූටප්‍රාප්තියකට පත්වන්නේ 1987 ජුලි මාසයේ ‍ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමගයි. ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ගොඩනැගුණු නව දේශපාලන බලමුළුව තුළ අපට සිංහල බෞද්ධ ජාතිකවාදයේ දෙවන රැල්ලේ දේශපාලන ආගමනය කළලමය මට්ටමින් හඳුනාගැනීමට පුළුවන. කෙසේ වෙතත් පශ්චාත් 87 ජුලි දේශපාලනය ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ නැගිටීම මගින් අධිනිශ්චය කරනු ලැබූ තත්වයක් තුළ මෙම කළලමය මට්ටමේ පැවැති නව සිංහල බෞද්ධ ජාතිකවාදි සන්ධානයට එහි දේශපාලන කූට ප්‍රාප්තියට ළඟාවීමට හැකියාව ලැබුණේ නැත.
මෙම කූට ප්‍රාප්තිය අපට දක්නට ලැබෙන්නේ ඊට 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කිරීමත් සමඟයි. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කැරැල්ල පරාජයට පත්වීම සිංහල බෞද්ධ ජාතිකවාදි ව්‍යාපෘතිය ද ලැබූ දැවැන්ත පරාජයක් ලෙස පෙන්නුම් කිරීමට පුළුවන. ඊට ප්‍රධාන හේතුව වන්නේ මෙම පරාජය විසින් ජාතිකවාදී නොවන දේශපාලන න්‍යායපත්‍රයකට සිංහල බෞද්ධ දේශපාලන දකුණ තුළ ඉඩකඩ විවර වීමයි. මෙම ජාතිකවාදී නොවන දේශපාලන පෙළගැස්මේ කූටප්‍රාප්තිය වන්නේ 1993 දී හා 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග ගේ නායකත්වයෙන් පොදුජන එක්සත් පෙරමුණ ලැබූ මැතිවරණ ජයග්‍රහණ මාලාවයි.
1994න් පසු සිංහල බෞද්ධ ජාතිකවාදයේ පුනරාගමනය හා එහි දෘෂ්ටිවාදිමය ප්‍රතිසංවිධානය විස්තරාත්මක ලෙස සාකච්ඡා කළ යුත්තකි. මා සිතන ආකාරයට මෙය ඉතා වැදගත් නමුත් තවමත් ප්‍රමාණවත් ලෙස සිදුවී නොමැති බුද්ධිමය කාර්යයේ යතුර ඇත්තේ 'ජාතික චින්තන' ව්‍යාපාරය සහ 90 දශකයේ මැද භාගයේදී තීරණාත්මක අදියරකට පත්වන නව බෞද්ධ ප්‍රබෝධය නිසි පරිදි තේරුම් ගැනීමට උත්සාහ කිරීම තුළය. එකිනෙක සමඟ යම් යම් අතිපිහිතවීම් තිබුණත් වෙන වෙනම තේරුම් ගත යුතු මේ ව්‍යාපාර දෙක පසුගිය දශක දෙක තුළ ලංකාවේ දේශපාලන රසායනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරමින් සිටී.
මෙම ව්‍යාපාරයේ සම නිර්මාතෘන් දෙදෙනා වූ නලින් ද සිල්වා සහ ගුණදාස අමරසේකර යන දෙදෙනාම 1977 දී ජේ.ආර්. ජයවර්ධන විසින් ආක්‍රමණශීලී ලෙස පහසුකම් සපයන ලද ධනේශ්වර ආර්ථික ව්‍යාපෘතියේ හා ඒ හා බැඳුණු පරිභෝජනවාදී මෙහෙයුමේ විවේචකයෝ වූහ. නමුත් එම ජයවර්ධන ව්‍යාපෘතියේ කූටප්‍රාප්තිය වන 2005 - 2015 රාජපක්ෂ ව්‍යාපෘතියේ ප්‍රමුඛ සහායකයින් වීම මගින් එහි 'වාමාංශික' අඩංගුව වියැකී ගොස් තිබීම අපට මනාව දැකගත හැකිය. 1990 දශකයේ මැද දී ඇතිවන නව බෞද්ධ පුනර්ජීවනය විශාල දේශපාලන විභවයක් සහිතව හැඩගැසුණු ආගමික සංස්කෘතික ව්‍යාපාරයකි. ආරම්භක අවධියේදී එහි තීරණාත්මක ප්‍රකාශකයා වූ ගංගොඩවිල‍ සෝම හිමි ගේ මැදිහත්වීම පැවැති පක්ෂ දේශපාලන බෙදීම් වලට ඉහළින් පැවැති එකක් වුවද ඉක්මනින්ම එයට දේශපාලන පැහැයක් ලැබීම දක්නට ලැබුණි.
විශේෂයෙන්ම මුස්ලිම් දේශපාලනයය සමඟ ඔහුගේ පැවැති විරසකය මෙම ව්‍යාපාරය දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් ඉතාම තීරණාත්මකය. ජාතික චින්තන ව්‍යාපාරය මුලික වශයෙන්ම දෙමළ ජාතිකවාදී දේශපාලන ඉල්ලීම් වලට එරෙහිව සිංහල බෞද්ධ දේශපාලන මනස සංවිධානය කිරීමේ නියැලිණි නම් සෝම හිමිගේ ව්‍යාපාරය මුස්ලිම් දේශපාලනයට විරුද්ධව සිංහල බෞද්ධ දේශපාලන මනස සංවිධාය කිරීමේ නියැලිණි. මෙම ව්‍යාපාර දෙකම වර්තමානය දක්වාම එකිනෙකින් පෝෂණය ලබමින් සිංහල බෞද්ධ දේශපාලනය පෝෂණ්‍ය කිරීමේ නියැලී සිටී.
1983න් පසු ඇති වූ සිංහල බෞද්ධ ජාතිකවාදයේ නව පිබිදීම 2005 මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සමඟ කූටප්‍රාප්තියට පත් වුවද ඒ සමඟම එහි සීමාව සලකුණු වීමද දක්නට ලැබේ. එනම් මේ ව්‍යාපාරයේ තාර්කික වර්ධනය විසින් සිංහල බෞද්ධ නොවන ජනකොටස් බැහැර කරනු ලැබීමේ යථාර්ථයයි. 2015 ජනාධිපතිවරණයේදී ඉතා තීරණාත්මක ලෙස නිරාවරණය වූයේ සිංහල බෞද්ධ ජාතිකවාද‍ෙය් මෙම දේශපාලන සීමාවයි.
2015 ජනවාරි පරාජයෙන් පසුව මෙම සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරය නව දේශපාලන පුනරාගමනයකට සූදානමින් සිටින අතර ඊට සැලකිය යුතු ජන සහයෝගයක්ද ගොනුවෙමින් සිටින බව පෙනේ. එසේ වුවද මේ ව්‍යාපාරය මුහුණ දෙන ගැටලුව වන්නේ 2015 ජනවාරි ජනාධිපතිවරණ පරාජයෙන් නිරාවරණය වූ එහි සීමාවන් එනම් සිංහල බෞද්ධ නොවන ජනකොටස්වලට අඩුම තරමින් කෙටිකාලීනව හෝ ආමන්ත්‍රණය කරන්නේ කෙසේද යන තීරණාත්මක අභියෝගය ජයගෙන නොතිබීමයි. කෙසේ වෙතත් තවමත් සිංහල බෞද්ධ දේශපාලන මනංඍෂ්ටිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් මේ ව්‍යාපාරයට ඇති විභවතාවය අතිමහත්ය.



No comments:

Post a Comment