එදා මෙන් වළාකුළු අහසේ තාමත් නැගේදෝ
(උපුටා පළ කළ ලිපියකි)
1972, 73 කාලය වන විට
සිංහල වාණිජ චිත්‍රපට කලාව තුළ ජෝතිපාලගේ ගී හඬ සිනමා සංගිතයට අත්‍යවශ්‍යම හඬ බවට පත්ව තිබුණි. ඒ නිසා ඒ වසර වල ලංකාවේ නිෂ්පාදනය කළ චිත්‍රපට
සියල්ලම ජෝතිමත් චිත්‍රපට ගීතාවලියකට හිමිකම් කියූ ඒවාය. ඒ නිසා අස්වැන්නෙන් අද තවත් පියවරක් ඒ
ගැන කතා කරන්නෙ එවන් මියුරුතම ගීත කීපයක් සමගිනි.
1973 වගේ කාලය වනවිට ජෝතිපාල එක චිත්‍රපටයකට ගැයූ ඒකල සහ
යුග ගීත ප්‍රමාණය විමසා බලන විට ඒ එක් එක් චිත්‍රපට වලට ඇතුළත්ව තිබූ
ගීතවලින් හරි අඩක් ජෝතිපාල ගැයූ
ඒවාය. ඒ නිසා ඒ හැම ගීතයක්ම ජනප්‍රිය සහ මතකයේ රැඳුණ ඒවා වුණත් ඒ
අතරින් වඩාත්ම සිත් ගත් සහ හොඳම ගීයක් විතරයි අස්වැන්නට දාන්න සිදුවෙන්නෙ.
එහෙම නොවුනොත් එක චිත්‍රපටයකට එක අස්වැන්න සටහනක් වෙන් කරන්න සිදුවෙනව.
1972 දී තිරගත වූ තිමති වීරරත්නගේ මේ දෑස කුමටද චිත්‍රපටයටද
ගීත 12 ක් හෝ 13 ක් ඇතුළත්ව තිබුණි. එයින් ගීත 05 ක්ම ගායනා කළේ ජෝතිපාල විසිනි. ටී.එෆ්
ලතීෆ්ගේ සංගීතයෙන් හැඩවුණ මේ දෑස කුමටද චිත්‍රපටයට නිල් අහසේ උමතුවලා (ජෝති), ගණ අන්ධකාරෙන්
වෙලී (ජෝති- සුජාතා), සෝබාව හංගා (ජෝති), ආලෝකේ අතීතේ ( ජෝති), ආලෝකේ රැස් විහිදා (ජෝති) යන ගීත ජෝතිපාල විසින් ගයා
තිබුණි. ඒ එකසේ සියල්ලම ජනප්‍රිය වූ ගීත බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ ගීත අතර
තවමත් බිඳකුදු හෝ රසය අඩුවක් නැති මේ ගීය සදාකාලිකව මතකයේ රැඳී ඇති ගීයකි. කරුණාරත්න අබේසේකරයන්ගේ
මේ පද මාලාව සහ එහි වචන නොදරුවෙකුට පවා
සැනෙකින් ග්‍රහණය කර ගත හැකි ය. එවන් පද රචනා දුර්වල යැයි කියා ඉවතලන්නට සිත්
නොදෙන්නේ ඒ නිසා ය.
අනෙක් අතට එකල චිත්‍රපට නිෂ්පාදකයන් ගී පදමාලා ගැන එතරම්
තැකිමක් නොකල අවස්ථාවල පවා ඉඩ ලද හැම
විටකම ඉහල ගුණයෙන් යුතු පදමාලාවක් චිත්‍රපටයට ඇතුළත් කිරිමට උත්සාහයන් ගෙන ඇති බවට
මේ ගීය නිදසුනක් සේ ගත හැකිය.
මිනිසා කුසීත කම්මැලි
- වැටී පරාද වී යනවා
ගින්නේ දැවෙනා දර වාගේ - අලු වීලා නැති වෙනවා
සෝබාව හංගා මේ ලෝ තලේ
ආලෝකයෙන් මා ඇයි වෙන් කළේ
අනුකම්පා නැති දෛවේ සිනාවේ
සෝබාව හංගා මේ ලෝ තලේ
පෙරදා පෑයූ ඉර නැග බැහැලා
එළිවෙනවාදෝ රෑ වෙනවා දෝ
වෙනදා විලසින් දඟ සමනලයින්
මල්පැණි බීලා ඉගිලෙනවාදෝ
එදා මෙන් වළාකුළු අහසේ
තාමත් නැගේදෝ...
අත්වැල අරගෙන
සිත් බැඳියන් ලොව
නෙත්කලු තැන්වල හැසිරෙනවාදෝ
ඇස් ඇති මිනිසුන් ලස්සන දේවල්
දැක දැක හිනැහී සැනසෙනවාදෝ
මෙදා අන්ධ නෙත් දෙක මාගේ
කවදා පෙනේදෝ.....
තුඩගෙහි තුඩගා සුමියුරු රස බී
අරුමැසි සිතුවිලි පවසනවාදෝ
මාහද තෙරපෙන ආදර හැඟුමන්
සුපෙම්වතුන් තුළ පවතීදෝ
මගේ අරුම ආදර සිහිනෙන්
තමා දිවි රැකෙන්නේ......
ගී පද මාලාව: කරුණාරත්න අබේසේකර
සංගිතය: ටී.එෆ්. ලතීෆ්
ගැයුම: එච්. ආර්. ජෝතිපාල
කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ 1973 දී තිර ගත වූ සුහද
පැතුම චිත්‍රපටයටත් ජෝතිපාල ගීත හතරක්ම ගායනා කර තිබුණි. ඒවා සියල්ලත් ජනප්‍රිය
හින්දි ගී තනු ඇසුරෙන්ම නිර්මාණය වූ ගීත විය. ඒ හින්දි තනුවලට ගිත ලියා තිබුණේ
කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්තිද අල්විස් සහ සිරිල් ඒ සීලවිමල වැනි විශිෂ්ඨ ගීත රචකයන්ය. ටී.එෆ්.
ලතීෆ්ගේ සංගීයෙන් හැඩවුණ සුහද පැතුම චිත්‍රපටයේ ජෝතිපාල ගැයූ ගීත අතර ආලෝකේ විහිදා
(ජෝතිපාල), ගීතේ පෙම් ගීතේ ( ජෝති- ඇන්ජලීන්), ජීවිතයේ කාන්තාරේ ( ජෝති- ඇන්ජලීන්) සහ දෝතින් දෝතයි ( ජෝති- ඇන්ජලීන්)
යන ගීත ඇතුළත් ව තිබුණි.
මේ ගී පදමාලා ඉතාමත් සරලය; සෘංගාරාත්මකය එසේම ඉතාම නොදියුණු
දුර්වල පද රචනාවන් ය. එසේ වුවත් වරෙක් ඇසු පමණින් මතකයේ රැඳෙන ජීවමය ගුණය ඒ
ගීතවලට ලැබුණේ ජෝතිපාලගේ ගී හඬ නිසා බව පැහැදිළිය. මතු දැක්වෙන්නේ එදා සුහද පැතුම
චිත්‍රපටයට ඇතුළත් වූ ගීයකි. මේ ගීතයම
ජෝතිපාල විසින් ඊට පසුව විවිධ කැසට් සහ වෙළඳ තැටිවලට විවිධ වචන යොදා ගායනා කර
තිබුණි.
ආලෝකේ බිහිවී පැතිරෙයිදෝ
ආශාව ඉටුවී සපිරෙයිදෝ
වැළලුණු මළ ඊයේ - තව හෙටක් තියේ
සටනකි ජීවිතේ ජය පරාද වේ...
කල්පනාව පෙර සේ නැත -ඇහිරීලා කොටුවීලා සිතුසේ
රන් කුරුල්ලෙකු සේ යමි - පියඹා සැනසීලා සිතුසේ
ආකාසේ හිරු දෙවියෝ හිනැහෙනවා අපේ
ජය පරාද වේ - සටනකි ජීවිතේ ජය පරාද වේ...
සත්‍යයෙන්ම මෙ ලොවේ කවුද කවදාද
අවනීති දිනුවේ
යුක්ති ධර්ම හමුවේ සත්‍ය බලවත්ව තෙදවත්ව රජවේ
රැයම නොවේ දහවල වේ - නියදම සේ ලොවේ
ජය පරාද වේ - සටනකි ජීවිතේ ජය පරාද වේ...
ගී පද මාලාව: කරුණාරත්න අබේසේකර
සංගිතය: ටී.එෆ්. ලතීෆ්
ගැයුම: එච්. ආර්. ජෝතිපාල
මේවා පදමාලා අතින් ඉතාමත්ම දුර්වල ගී පද රචනාවන්ය. එසේ වුවත් කර්ණ රසායන මධුර හින්දි ගී තනුය. හැත්තෑව දශකයේ හින්දි සිනමා සංගිතයේ දැවැන්තයන් වූ ආර්.ඩී. බර්මන්, ශංකර් ජායි කීෂන්, ලක්ෂ්මී කාන්ත් ප්‍යාරේ ලාල් වැනි අය හැදූ මධුර ගී තනුය. මේවාට ලංකාවේ එවකට චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකවරු කොපි කර ප්‍රති නිර්මාණය කර ලාංකිය මුහුණුවරක් ලබාදී සිංහල ගීත බවට පත් කළහ. ඇතැම් විට ගීත ප්‍රති නිර්මාණය කිරීමේදී සංගීත සංයෝජනයේදී හින්දි ගීතයේ තිබුණ සංගීත සංයෝජනයන්ට අමතරව තවත් අලුත් සංගීත ඛණ්ඩ එකතු කරමින් හින්දි ගී තනුවලට තවත් නව ජීවයක් ලබා දුන් නිසා සිදු වූයේ හින්දි ගීතය අභිබවා යන ආකාරයට සිංහල ගීතය නිර්මාණය විමයි.
විනෝදාස්වාදය සඳහාම චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයන් පිනවිය
හැකි ආකාරයට චිත්‍රපට නිෂ්පාදනය කිරිම එකල නිෂ්පාදකයන්ගේ අරමුණ වූ නිසා 70 දශකයේ හින්දි සහ දමිල
සිනමාවේ තිබූ අංගයන් ඒ අයුරින්ම අනුකරණය කර ඒ අයුරින්ම චිත්‍රපට හැදිමට ලාංකේය
සිනමාකරුවන් පෙළඹී සිටි නිසා හින්දි ගීත අනුකරණය කිරිම වඩාත් පහසු විය.
ඒ නිසා එදා චිත්‍රපටයේ දි ගීතය භාවිතා වූයේ ප්‍රේක්ෂකයන්
චිත්‍රපට වෙත කැඳවා ගැනිමටය. ගීතය; චිත්‍රපටය නැරඹිමට ප්‍රේක්ෂකයා පොළඹවා ගැනිමට තිබූ හොඳම සහ
ආකර්ෂණීයම මග වූ නිසා එදා චිත්‍රපට වලට
ගීත හත අට බැගින් එබූහ.
ඒ නිසාම ගීත රචකයන්ට සිදුවූයේ චිත්‍රපට
නිෂ්පාදකයන්ගේ අණසකට යටත් විමටය. එය සිංහල වාණිජ
චිත්‍රපට ගීත කලාව දුර්වල වූ එක තැනකි. එසේ ඇහිරී ගිය හරසුන් පද මාලා සහ
මධුර ගී තනුවලට වග කියන්නට සිදු වූයේ ජෝති, මිල්ටන්, බෙග්,
ලන්ත්‍රා, ඇන්ජලින්, ලතා සහ සුජාතා වැනි ගායක ගායිකාවන්ටය.
එකම තනුවට විවිධ අවස්ථාවන්වලදී ගීත රචකයන් ලියූ විවිධ පදමාලා ජෝතිපාල ගැයූ
ගිතවිසින් ගයා තිබූ අවස්ථාවන් කොතෙකුත් හමුවන්නේ ඒ නිසාය. එය ඔහුගේ වුවමනාවට සිදුවුවක් බව නොපෙනෙන්නේ එදා
ඉන්දිය සිනමාවේ තිරගත වුණු ජනප්‍රිය හින්දි සහ දෙමල ගී තනු උපුටා ගැනීමේ තරඟයක්
ලංකාවේ වාණිජ චිත්‍රපට නිෂ්පාදකයන් අතර තිබූ බව පැහැදිළි වන හෙයිනි. ඒ නිසා ගී
තනුව හෝ පදමාලාව කුමක් වුවත් ජෝතිපාල ඊට උපරිම සාධාරණයක් ඉටුකර චිත්‍රපට
නිෂ්පාදකයාගේ අරමුණ සාර්ථක කරගැනිමට සිය දායකත්වය ඇති බව ඔහුගේ ගීත කලාව පිළිබඳව
විමසන විට පැහැදිලි වේ.
ඒ අයුරින්ම 70 දශකයේ සිංහල සිනමාවේ රස සාගරයක් මැවූ යසපාලිත
නානායක්කාරගේ තුෂාරා චිත්‍රපටද තිරගත් වූයේ 1973 වසරේදීය. විජය කුමාරතුංග සමග
මාලනී ෆොන්සේකා රඟපෑ එයද අමරණීය ජෝතිමත් ගී පෙළක් ඇතුළත් වූ චිත්‍රපටයකි. පී.එල්.ඒ.සෝමපාලගේ
සංගීතයට ශ්‍රී නිහාල් ජයසිංහ ලියූ ගීත රැසක් ඇතුළත්වූ තුෂාරා චිත්‍රපටයේ ගීත 07ක්ම ජෝතිපාල ගැයූ ඒවා විය. මා හද ඔබෙයි දයාවී, (ජෝති), මිදුම් ගලා කන්දේ (ජෝති- ඇන්ජලීන්), කලක්
තිස්සේ ( ජෝති- ඇන්ජලින්) , එපා උනොත් හෙට ඕනෑවෙයි (ජෝති),
කලක් තිස්සේ (ජෝති), ජීවනයේ මිවනයේ (
ජෝති- ඇන්ජලින්) , කවුදෝ මේ ආවේ ( ජෝති- සුජාතා-
ඇන්ජලින්) , මේ ආකාරයෙන් ජෝතිපාලට චිත්‍රපටවල නිර්මාණය වූ
ඇතැම් ගීත ඒකාකාරී බවක් දැනෙන්නේ ඒවා එකම වට්ටෝරුවකට ලියා තිබූ නිසාය. උසස් ගී රස
අපේක්ෂාකළ රසිකයන්ට ජෝතිපාල ගැයූ හොඳ සාර්ථක ගීත පවා එපා වූයේ එහෙයිනි. එදා
යසපාලිතගේ රස සාගරයක් මැවූ තුෂාරා චිත්‍රපටයේ ඇතුළත් වූ ජනප්‍රියම ගියකි මේ. චිත්‍රපටයේ
ඇතුළත් වූ ගීතය මද වශයෙන් වෙනස්කම් සහිතව ජෝතිපාල
ඇන්ජලීන් සමග පසුව ගී තැටි වලට නැවත ගායානා කර ඇත.
මීදුම් ගලා කන්දේ - ඉවසන්න බෑ සීතේ
උණුසුම් දැනේ දෑතේ
ළංවී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ.....
රන් රුවක් වගේ පෙම්බරා මගේ
මේ නිසංසලේ සිත් පහන් කළේ
ළා නිල්ලේ - ඔන්චිල්ලේ - නැළැවිල්ලේ
මා මත්වේ - මුසපත් වේ - රසවත් වේ
ළංවී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ
දෝ.....
සෙවනැල්ල මෙන් ඔබේ මම එන්නෙමී හොඳේ
වෙන් නොවී බැඳී සංසාරයේ අපී..
ළා නිල්ලේ - ඔන්චිල්ලේ - නැළැවිල්ලේ
මා මත්වේ - මුසපත් වේ - රසවත් වේ
ළංවී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ.....
ගී පද මාලාව: ශ්‍රී නිහාල් ජයසිංහ
සංගිතය: පී.එල්.ඒ. සෝමපාල
ගැයුම: එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක
මේ ආකාරයෙන් වානිජ චිත්‍රපට ජෝතිමත් ගීයෙන් සැරසෙද්දී ජෝතිපාල ගේ ගීතවලට හැරවුම් ලක්ෂයක් එළඹියේ 1973 වර්ෂයේ දිය. ජෝතිපාල ගැයූ හොදම ස්වතන්ත්‍ර වෙළඳ ගී තැටි නිෂ්පාදනය වූයේද ඒ යුගයේ දිය. ඒ වන විටත් වෙළඳ ගී තැටි සහ චිත්‍රපට ගී වලින් සැරසුන ඔහුගේ හැරවුම් ලක්ෂය ජෝතිමත් ගීයේ සරත් සමයයි. අපි ඊළඟ කොටසින් ඒ ගැන කතා කරමු.......෴
No comments:
Post a Comment