Friday, July 22, 2016

පොත පතට පෙම් බැඳි ඔහු



සබරගමු සරසවි රෑනේ නිහඬ චරිතයක් ලෙසින් අපට හමුවන ඔහු ධනුෂ්ක චන්දන රත්නායකයි. දකුණු ලක ගාලු දිස්ත්‍රික්කයේ මාගෙදර නම් වූ අති රමණීය ප්‍රදේශය ඔහුගේ උපන් බිම විය. එක් දහස් නවසිය අනූ දෙකේ බිනර මස පහළොස් වන දින තිලකා රංජනී හා ජයකීර්ති රත්නායක යන මාපිය දෙපලට දාව ඔහු මෙලොව ජන්ම ලාබය ලැබීය. පවුලේ වැඩිමහල් පුතු වෙමින් හා බාල සොහොයුරන් දෙදෙනෙකුගේ වැඩිමහල් සොහොයුරා වෙමින් ඔහු සිය පවුලේ හැදී වැඩුණේ ය. 

ගා/ මාගෙදර මහ විද්‍යාලය ධනුෂ්කට සිප්නැණ ලබා දුන් තිඹිරි ගෙය විය. යහළු මිත්‍රයින් අතර නිහඬ චරිතයක් වෙමින් ඔහු සිය පාසල් සමය සිය දක්ෂතා ඔප මට්ටම් කරමින් ගෙන ගියේ ය. පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යයෙක් ලෙස අධ්‍යාපනයෙන් මෙන් ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් ද ඔහු දක්ෂතා දැක්වූවේ ය.
පාසලේ සිංහල සාහිත්‍ය සංගමයේ හා බෞද්ධ සංගමයේ ලේකම් ධුරය හොබවමින් ඔහු පාසලේ බාල පරම්පරාවට ද ආදර්ශයක් වූයේ ය. පාසලේ සාහිත්‍ය තරග, දැනුම මිනුම, ගද්‍ය රචනා ආදී තරගවලින් ඔහු ලබාගත් ජයග්‍රහන ඔහුගේ සාහිත්‍යමය කුසලතා කියාපාන කදිම නිදසුන් ය.


කලාවට හිතැති ධනුෂ්ක කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරැවේ ය. සිංහල, බෞද්ධ ශිෂ්ටාචාරය හා දේශපාලන විද්‍යාව ඔහුගේ විෂය ධාරාව විය. උසස් අන්දමින් උසස් පෙළ ජයගත් ධනුෂ්ක සරසවි අධ්‍යාපනය ස‍‍‍‍‍‍ඳහා තෝරා ගත්තේ සබරගමුව සරසවියයි. දේශපාලන විද්‍යා විශේෂවේදි උපාධිය හදාරමින් මේ වන විට උසස් අධ්‍යාපනයේ නිරත ඔහු සාහිත්‍යමය කටයුතු ස‍ඳහා සුවිශේෂි උනන්දුවක් දක්වයි. සරසවියේ පොත්ගුල ඔහු ඇසුරු කරන ඔහුගේ සිත් ගත් සුවිශේෂි ස්ථානයක් විය. නිතර පොත පත කියවීමට රුචිකත්වයක් දක්වන ඔහු ලේඛනයට ද දැඩි ඇල්මක් දක්වයි. 


සමාජයීය විද්‍යා හා භාෂා පීඨයේ ප්‍රථම අර්ධ වාර්ෂික සඟරාවේ ආරම්භක සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කළේ ය. එමෙන්ම එහි ප්‍රධාන සංස්කාරක ධුරය හෙබවීය. ඉන් නොනැවතී සරසවියේ කණිෂ්ඨ කණ්ඩායම ද එම මගෙහි යොමු කරමින් ඔවුනට උපදෙස් ලබා දෙන්නේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු සතු වගකීම මැනවින් අවබෝධ කරගනිමිනි. නිතර පොත පත ඇසුර ලබන ධනුෂ්ක වියත් සමාජයක් උදෙසා සිය ලේඛන කටයුතු මෙහෙය වීමේ උතුම් බලාපොරොත්තුවක නියැලී සිටී. එකී උතුම් අභිමතාර්ථය යථාර්ථයක් වන්නට අපි ද ධනුෂ්කට ආසිරි එක් කරන්නෙමු.  



උ‍මේෂා මධුමාලි

No comments:

Post a Comment