Sunday, July 3, 2016

එච්.ආර්.ජෝතිපාල ශ්‍රීලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථික පසුබිම පිළිබඳ විමසුමක්: සංස්කෘතික කියවීමකි.




එච්.ආර්.ජෝතිපාල ශ්‍රීලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථික පසුබිම පිළිබඳ විමසුමක්: සංස්කෘතික කියවීමකි.

1956 දී සුරතලී චිත්‍රපට පසුබිම් ගීතයක් ගයමින් ක්ෂේත්‍රයට පැමිණ ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමට ජෝතිපාල සමත් විය. ඔහු සම්භාව්‍ය ගායක ශ්‍රේණිගත කිරීම්වල නො සිටියේ ය. සාමාන්‍ය ජනතාව අතර එකසේ ජනප්‍රිය වූ ඔහු ශාස්ත්‍රීය ගායකයෙක් ලෙස පිළිගත්තේ නැත.එහෙත් ඔහුගේ මිය යාමත් සමග පැමිණි විශාල ජනගඟ බොහෝ පිරිසකගේ අවදානයට ලක් විය. එතැනින් ඇරඹි ජෝතිපාල පිළිබඳ සංස්කෘතික කියවීම විවාදාපන්න විය. සිංහල වාණිජ චිත්‍රපට කලාවේ වර්ධනයත් කැසට්පට කලාවත් යන ප්‍රධාන මාධ්‍ය ධාරා දෙක ජෝතිපාල ජනප්‍රිය ම ගායකයා ලෙස ස්ථානගත කිරීමට හේතු විය.කැසට් ධාවන යන්ත්‍ර ව්‍යාප්ත වීම හා වානිඣ චිත්‍රපට කලාවේ ව්‍යාප්තිය 1977 න් ඇරඹි විවෘත්ත ආර්ථික ප්‍රතිපත්තිය හා අත්‍යන්තයෙන් බැදී පවතී. එමෙන් ම ජේ. ආර් ජයවර්ධන හා ප්‍රෙමදාස පාලනය මගින් සමාජගත කළ හරපද්ධති සමූහය ද ජෝතිගේ ජනප්‍රියත්වයට පසුබිම සැකසීය. මේ ආකාරයට සංස්කෘතික බලකණුවක් ලෙස මතුවීමට ජෝතිපාලට බලපෑ දේශපාලන ආර්ථික පසුබිම මෙහිදී විමසීමට ලක් කෙරේ.ජෝතිපාල පිළිබඳව කෙරුණු පර්යේෂණාත්මක ලිපි අල්ප වේ. එච්.ආර්.ජෝතිපාලගේ අවමංගල්‍ය කටයුතු කෙරුණු දින පැමිණි විශාල පිරිස දැක සරත් අමුණුගම විසින් ලියා පළ කරනු ලැබූ “බිඳ වැටුණු සංස්කෘතික බලකණුව”නම් ලිපිය ජෝතිපාල පිළිබඳ ව කෙරුණු වැදගත් ම සංස්කෘතික කියවීම කි.ඔහු පිළිබඳ බොහෝ තොරතුරු තවමත් පවතිනුයේ ජනශ්‍රැති හා ජනමාධ්‍ය අවකාශයක ය.විශේෂයෙන් පත්තර හා වෙබ් පිටු ඒ අතරින් විශේෂ වේ. එම මුලාශ්‍රයන් අධ්‍යයනය කරමින් මෙම කියවීම පෝෂණය කෙරේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් පවත්වාගෙන යනු ලැබූ ශාස්ත්‍රීය ගීත කතිකාව තුළ ජෝතිපාලට ලැබුණු ඉඩ ඉතා අල්ප විය.ගුවන්විදුලියෙන් ජනප්‍රියත්වය නොසෙයූ ඔහු කැසට්පට ගායකයෙක් විය.එමෙන් ම 1960-70 කාලයේ ඉතා ම ජනප්‍රියත්වයට පත් වූ වේදිකා ප්‍රසංගවල ප්‍රමුඛත්වයක් ජෝතිපාලට හිමි විය.එවකට පොදු ජනතාවගේ ප්‍රධානතම රසවින්දන මාධ්‍ය වූ සිනමාව හරහා ඔහු දක්ෂ පසුබිම් ගායකයෙක් විය.සරල පදමාලා සහිත විරහ ගීත, ප්‍රේම ගීත එක හුස්මට කියා දැමූ ඔහු ප්‍රභූන් අතර ‘පීචං’ ගායකයා විය.එහෙත් පොදු ජනතාවගේ ආදරණීය ගායකයා ඔහු විය. නිතර නිතර ඇසුණු ඔහුගේ හඬ ඇළුම් කළ තරුණ පිරිසක් ඔහු වටා විය. සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ බහුතර පසුබිම් ගීත ප්‍රමාණයක් ගයනු ලැබූයේ ඔහු විසිනි.ඔහු සිනමාවට උචිත හඩකින් යුක්ත ගායකයෙකු විය. ලාංකිකයන්ට විදේශ රැකියා වෙළදපොල විවෘත්ත වීමෙන් බොහෝ පිරිසක් මැදපෙරදිග රටවල රැකියා සදහා පිටත් වූ අතර ඔවුන් හැම කෙනෙක ම නොවරදවා ම කැසට් ධාවන යන්ත්‍රයක් නිවසට රැගෙන ආවෝය.නැවත නැවත ශ්‍රවනය කළ හැකි කැසට්පටය නිසා ඔහුගේ හඬ පොදු ජනතාව අතර නිතර ඇසුණි.වාණිජ සිනමාව හා වාණිජ විනෝද කර්මාන්තය නිර්මාණය වීමත් විනෝද කර්මාන්තය පුළුල් වෙමින් සංවර්ධනය වීමත් ජෝතිපාල නමැති ජනප්‍රිය ගායකයා නිර්මාණය වීමට පදනම සැකසීය. වානිඣ විනෝදායන කරිමාන්තයේ නිමග්න ව සිටිය ද ජෝතිපාල ධනවතෙකු නොවීමත් ප්‍රාග්ධනය හඹා නොයාමත් විශේෂිත තත්වයකි. එම විශේෂ ගුණාංග නිසා පොදු ජන සංස්කෘතික අවකාශය තුළ ස්ථාපිත වීමට ද ඔහුට හැකි විය.

ප්‍රමුක පද : එච්.ආර්.ජෝතිපාල, ජනප්‍රිය සංස්කෘතිය, පොදුජන සංස්කෘතිය,ගුවන්විදුලි සංස්ථාව, කැසට්පටය

No comments:

Post a Comment